ශ්‍රී ලංකාවේ අධිකරණ, ආහාර සුරක්ෂිතතා හා දේශගුණික විපර්යාස වළක්වා ගැනීම වෙනුවෙන් යුරෝපා සංගමයෙන් රු. බිලියන 8.26 ක ආධාර

    January, 13, 2021

    ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙලට සහාය දීම වෙනුවෙන් යූරෝ මිලියන 35.75 ක හෙවත් රු. බිලියන 8.26 ක ආධාර මුදල් පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් තුනක් අත්සන් කිරීමට යුරෝපා සංගමය පසුගිය දා කටයුතු කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සහ මෙරට යුරෝපා සංගම් දූත මණ්ඩල තානාපති ඩෙනිස් ෂයිබි යන මහත්වරු සහභාගී වූහ.

    යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පිරිනමන සහයෝගීතාව, දැඩි මිත්‍රශීලී සබඳතාව හා සහාය පිළිබඳව භාණ්ඩාගාර ලේකම් ආටිගල මහතා මෙහිදී අගය කළේය. මෙම ගිවිසුම් ත්‍රිත්වය හරහා ලැබෙන මුදල්, අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම හා ආහාර සුරක්ෂිතතාව දියුණු කිරීමටත්, උසස් තත්ත්වයෙන් යුතු අපනයන භාණ්ඩ නිපදවීමේත් ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙලට විශාල ශක්තියක් වනු ඇති බව ද ඔහු පැවසීය.