ශ්‍රී ලංකාවේ අපනයන 2026 පළමු මාස හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි

    August, 31, 2026

    ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.5% ක වර්ධනයකි.

    සමස්ත අපනයන ඉපැයීම් සඳහා ප්‍රධානතම දායකත්වය භාණ්ඩ අපනයන අංශයෙන් හිමි වූ අතර, 2026 ජනවාරි-ජූලි කාලය තුළ ඉන් ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,188.32 ක් විය. මෙය පෙර වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 5.05% ක වැඩිවීමක් වන අතර, එමඟින් ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන් වෙනස් වෙමින් පවතින පසුබිමක වුවද ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ක්ෂේත්‍රයේ පවතින අඛණ්ඩ ශක්තිමත්භාවය පිළිඹිබු වේ.

    මේ අතර, සේවා අපනයන අංශය ද අඛණ්ඩව ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කළ අතර, 2026 වසරේ පළමු මාස හත තුළ එය ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 2,299.48 ක් දක්වා ළඟා විය. මෙය පෙර වසරට සාපේක්ෂව 7.02% ක වර්ධනයක් වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම සඳහා සේවා අංශයෙන් ලැබෙන දායකත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත.

    ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත අපනයන අගයන්ට අනුව, 2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,285.31 ක් වූ අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 1.3% ක සුළු අඩුවීමකි.

    මේ අතර, සේවා අපනයන අංශය සිය ධනාත්මක වර්ධන වේගය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, 2026 ජූලි මාසයේදී ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 351.92 ක ආදායමක් උපයා ඇති අතර, එය පෙර වසරේ ජූලි මාසයට සාපේක්ෂව 3.75% ක වර්ධනයකි.

    ඒ අනුව, භාණ්ඩ හා සේවා යන අංශ දෙකම ඇතුළත් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 ජූලි මාසයේදී (ඇස්තමේන්තුගත) ඇමරිකානු ඩොලර් මිලියන 1,637.26 ක් දක්වා ළඟා වූ අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 2.63% ක වර්ධනයකි.

    2026 ජූලි මාසයේ අපනයන ක්‍රියාකාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, “2026 වසරේ පළමු මාස හත ඇතුළත සමස්ත අපනයන ආදායමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 සීමාව පසුකර යාම ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර එය අපගේ අපනයන ප්‍රජාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ අධිෂ්ඨානය මනාව පිළිඹිබු කිරීමක්" බවයි. "ගෝලීය වෙළෙඳ පරිසරය තුළ පවතින අවිනිශ්චිතතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලාංකික අපනයනකරුවන් අඛණ්ඩව නව අවස්ථා හඳුනා ගනිමින්, වෙනස් වන වෙළෙඳපොළ තත්ත්වයන්ට හැඩගැසෙමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සාර්ථකව තරඟ වදින බව මෙම දක්ෂතාවයෙන් තහවුරු වන" බව ද ඔහු සඳහන් කළේය.

    "අපගේ වත්මන් ප්‍රමුඛතාවය විය යුත්තේ පවතින අපනයන අංශවල තරඟකාරීත්වය ශක්තිමත් කරන අතරම, නව නිෂ්පාදන, සේවා සහ වෙළෙඳපොළවල් සංවර්ධනය කිරීම වේගවත් කරමින් මෙම වර්ධන වේගය තවදුරටත් ඉදිරියට ගෙනයාම" බව ද විජේසිංහ මහතා පෙන්වා දුන්නේය. තවද, තිරසාර අපනයන වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ඉහළ අගය එකතු කිරීම් සිදු කිරීම, නවෝත්පාදනය, තාක්ෂණය වැළඳගැනීම, වෙළෙඳපොළ විවිධාංගීකරණය සහ ගෝලීය අගය දාමයන් සමඟ ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය වන බව ද ඔහු අවධාරණය කළේය. "ව්‍යාපාර ජාත්‍යන්තරව ව්‍යාප්ත කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සහ වඩාත් විවිධාංගීකරණය වූ, තරඟකාරී මෙන්ම ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් අපනයන මුහුණුවරක් ගත් ආර්ථිකයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂයට සහාය වීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයනකරුවන්, කර්මාන්ත සංගම් සහ රජයේ පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩව සමීපව කටයුතු කරන" බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රේගුව

    2026 ජූලි මස සඳහා අපනයන සේවා, මැණික් හා ස්වර්ණාභරණ, සහ පෙට්‍රෝලියම් නිෂ්පාදනවල අපනයන සංඛ්‍යාලේඛන අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ඇස්තමේන්තු කරන ලදී.