ශ්‍රී ලංකාවේ ආයෝජනයට පාකිස්තානය කැමැත්ත පළ කරයි

    August, 22, 2016

    ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික, තොරතුරු තාක්ෂණ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ආයෝජන කටයුතු සඳහා ඉදිරිපත් වීමට පාකිස්තානය කැමැත්ත පළ කරයි. ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් ෂකිල් හුසේන් මැතිතුමා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සමග පසුගියා දා (18) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක් අතරතුරදී ය.

    මහකොමසාරිස්වරයා එහි දී කියා සිටියේ ආයෝජනය සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සුදුසු මට්ටමක පවතින බවයි. එබැවින් තම රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වෙත යොමු කරවන බව හෙතෙම අවධාරණය කළේ ය.

    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර දැනට පවතින ඍජු ගුවන් ගමන් සේවා තව දුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි. එරට ජාතික ගුවන් සේවාවේ දායකත්වය ද ඊට ලබා ගැනීම පිළිබඳ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා මෙහි දී මහකොමසාරිස්වරයාගේ අවධානයට ලක් කළේ ය.