ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය ගැන ඉන්දියාවේ තෙල් ඇමති දැනුවත් කරයි

    March, 15, 2022

    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, මාර්තු 10 දින, නවදිල්ලි නුවර පිහිටි නාගරික කටයුතු අමාත්‍යාංශයේදී ඉන්දියාවේ ඛනිජ තෙල්, ස්වභාවික වායු, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී හර්දීප් සිං පූරි මහතා හමුවිය.

    පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිදු කළ ඉන්දීය සංචාරය අතරතුරදී එකඟ වූ සහයෝගිතාවයේ කුළුණු හතර යටතේ, විශේෂයෙන්ම ඛනිජ තෙල් නිපැයුම් මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති සහය සම්බන්ධයෙන් මහ කොමසාරිස් මොරගොඩ මහතා අමාත්‍ය පූරි මහතා වෙත සිය ස්තුතිය පළ කළේය.  ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් තොග වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාවෙන්අමතර ආධාර ද ලබා දී ඇත.

    ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන අභියෝග සහ ඒවා රටේ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල කරන බලපෑම පිළිබඳවද මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අමාත්‍ය පූරි මහතා හමුවේ පැහැදිලි කළේය. වත්මන් අර්බුදයෙන් මිදීම සඳහා ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි ක්‍රමවේද පිළිබඳව ද මහ කොමසාරිස්වරයා සහ අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කළහ.

    ඛනිජ තෙල්, තෙල්, ගෑස් සහ ඒ ආශ්‍රිත සැපයුම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවට දිගුකාලීන උපායමාර්ගික සබඳතා ගොඩනගා ගත හැකි ක්‍රම සහ විධි ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ගැටළු රැසක් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

    දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර,අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා කීර්තිමත් වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කළේ ය. එතුමා 1984-1988 යන කාලය තුළ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළේ ය.