ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සමීක්‍ෂණයට ඕස්ට්‍රේලියා සහාය

    April, 5, 2017

    ඕස්ට්‍රේලියාවේ විශේෂ අමුත්තන්ගේ වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියා රජයෙන් ලද ආරාධනයකට අනුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියැලිණි. මෙහිදී, ශ්‍රී ලංකාවේ ඛනිජ ක්ෂේත්‍රයේ ඇති ආයෝජන ඉඩප්‍රස්ථා පුළුල් කිරීම සඳහා, ලොව ඉහළ පෙළේ ඛනිජ හා ලෝහ ගවේෂකයෙක් වන ඕස්ට්‍රේලියාවේ විශේෂඥභාවය ප්‍රයෝජනයට ගැනීමට මෙතුමා අපේක්‍ෂා කළේය. දෙරට අතර සහයෝගීතාව සහ නවෝත්පාදන සබඳතා වැඩිදියුණු කිරීම අරමුණුකරගත්, ඛනිජ කර්මාන්තය පිළිබඳ සාකච්ඡා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සංචාරයේ න්‍යාය පත්‍ර අංග කීපයකටම ඇතුළත් විය. 2017 පෙබරවාරි මස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංචාරයට අදාළව කරන ලද සාකච්ඡාවල පසුවිපරම් කටයුතුද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලදී. මෙතෙක් සිදුකරනු ලැබ නොමැති ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සිතියම්ගත කිරීම සිදුකළ යුතු බවට අග්‍රාමාත්‍යතුමාගේ සංචාරයේදී සාකච්ඡාවට බඳුන්විය. ඕස්ට්‍රේලියාවේ ස්වාභාවික සම්පත් පිළිබඳ දත්ත ගබඩාව වන “ජියෝ සයන්ස් ඕස්ට්‍රේලියා” හි නිලධාරීන් සමග නියෝජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීය. ඛනිජ කර්මාන්තය සම්බන්ධයෙන් පවතින හැකියාවන් ප්‍රයෝජනයට ගැනීම සඳහා සහ ශ්‍රී ලංකාව හා ගෝලීය නිෂ්පාදන ජාල අතර සබඳතා ඇතිකිරීමේදී ආයෝජනයන් උනන්දු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්‍ෂණයක් සිදුකිරීම පූර්ව අවශ්‍යතාවක්ව පවතින බව එතුමා මෙහිදී පෙන්වා දුන්නේය. ඕස්ට්‍රේලියාවේ පළපුරුද්ද හා විශේෂඥභාවය ශ්‍රී ලංකාවට ගෙන ඒම හා අධ්‍යයන සංචාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් “ජියෝ සයන්ස් ඕස්ට්‍රේලියා” ආයතනය මෙහිදී ධනාත්මක ප්‍රතිචාර දැක්වීය.

    කැන්බරා හිදී, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එරට විදේශ අමාත්‍ය ජූලින්ට් බිෂෝප් මැතිණිය හා ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳව අමාත්‍ය සෙනට් සභික කොන්සෙටා පියෙරවටි වෙල්ස් මැතිනිය බැහැ දුටු අතර ද්වීපාර්ශවීය වැදගත්කමක් සහිත සැලකිල්ලට ලක්විය යුතු ගැටලු රැසක් සාකච්ඡා කෙරිණි.

    බිෂෝප් විදේශ අමාත්‍යවරිය රජයේ සංහිඳියා ප්‍රයත්නයන් සඳහා සහයෝගය පළකල අතර මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව සිදුකරන කටයුතු ඕස්ට්‍රේලියාවේ ඇගයීමට ලක්විය. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව ලබාදෙන ලද දායකත්වය හා තම මවු රටේ සංවර්ධන කටයුතු සඳහා යෙදවිය හැකි විශේෂඥභාවය හා කුසලතාවය ඔවුන් සතුව පවතින බව අමාත්‍යවරු දෙපළ මෙහිදී පෙන්වා දුන්හ.

    මෙල්බන්හිදී, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා තාක්‍ෂණ සංවිධානය (ANSTO) සහ වෛද්‍ය විද්‍යාව හා නැනෝ තාක්‍ෂණයේ සිට නිෂ්පාදන හා‍ ඛනිජ ගවේෂණය දක්වා වූ ක්ෂේත්‍රයන්හි විද්‍යාත්මක යෙදවුම් සංවර්ධනය කිරීම සඳහා ත්වරණ තාක්‍ෂණය භාවිත කරන ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ ස්ථානයක් වන “ඕස්ට්‍රේලියානු සින්ක්‍රොට්‍රෝන” යේ සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ දහස් සංඛ්‍යාත පිරිසකට බලපාන ප්‍රධාන වශයෙන් ගොවීන්ට බලපාන හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයේ මූලයන් සෙවීම සඳහා අවධානය යොමුකරන ලෙස “ඕස්ට්‍රේලියානු සින්ක්‍රොට්‍රෝන” යේ විද්‍යාත්මක නායකත්වයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    ශ්‍රී ලංකාවට, ප්‍රථම වරට හඳුන්වා දෙන ලද “ක්ලවුඩ් ස්මාර්ට් ක්ලාස්රූම්” හෙවත් ඉලෙක්ට්‍රොනික පන්ති කාමර නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා විද්‍යාලයීය ගුරු භවතුන් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියුක්ත කරවමින් අදාල තාක්‍ෂණය පන්ති කාමරය තුළදී උපයෝගී කර ගන්නා ආකාරය ඕස්ට්‍රේලියානු ප්‍රායෝගික වෘත්තිකයන් ආභාෂයෙන් අධ්‍යයනය කිරීම සඳහා වූ ගිවිසුමකට එළඹීමට මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ “ඒෂියාලින්ක්” (Asialink) ආයතනය සමග පැවති සාකච්ඡා අතරතුර නියෝජ්‍ය අමාත්‍යතුමාට හැකිවිය.

    ඕස්ට්‍රේලියානු ව්‍යාපාර සභාවේ නිලධාරීන්ද හමුවූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ප්‍රධාන විධායක නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන ඉඩප්‍රස්ථා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවේ දැනට පවත්නා සුවිශේෂී ඕස්ට්‍රේලියානු විලාසිතා සන්නාමයක් වන KOOKAI හි මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ සැලසුම් පිළිබඳව ද එහිදී එතුමා සාකච්ඡා කළේය.

    සංචාරය අතරතුර, කැන්බරා හි ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු පර්යේෂණ මධ්‍යස්ථානයේදී “ශ්‍රී ලංකාවේ වෙනස්වීම: අවස්ථා හා අභියෝග” මැයෙන් පවත්වන ලද ප්‍රසිද්ධ දේශනය සහ විද්‍යාර්ථයින්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ව්‍යාපාරික ප්‍රජාව සමග මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ඒෂියාලින්ක් හිදී පවත්වන ලද වටමේස සාකච්ඡාවද වශයෙන් දේශන දෙකක් පැවැත්වීමට මෙම සංචාරයේදී නියෝජ්‍ය අමාත්‍යවරයාට අවස්ථාව හිමි විය.

    මෙම අවස්ථා සඳහා නියෝජ්‍ය අමාත්‍යතුමන් සමග මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතා සහ සිඩ්නි හා මෙල්බර්න් හි කොන්සල් ජනරාල්වරුන් වන ලාල් වික්‍රමතුංග සහ ප්‍රසන්න ගමගේ යන මහත්වරු ද සහභාගී වූහ.