ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි

    May, 3, 2017

    අපනයන වර්ධනය සහ ආර්ථික වර්ධනය අතර අන්තර් සම්බන්ධයක් ඇති බවට පොදු මතයක් තිබුණ ද, ශ්‍රී ලංකාව පිළිබඳ සැලකීමේ දී එවැනි සම්බන්ධතාවයක් දක්නට නොලැබෙන බව 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කර සිටී. එහි ‘අපනයන ප්‍රවර්ධනය උදෙසා ජාතික උපායමාර්ය‘ මැයෙන් විශේෂ සටහනක් තබමින් මේ බව සඳහන් වේ.

    එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    මෙම තත්ත්වය 2000-2016 අතර කාලයේ දී පැහැදිලිව දක්නට ලැබුණ අතර, එම කාලය තුළ දී දළ දේශීය නිෂ්පාදිතය සියයට 10.4 ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයකින් වර්ධනය වුවද, අපනයන සියයට 4.0 කින් පමණක් සංයුක්ත වශයෙන් වර්ධනය වී තිබේ. මෑතකාලීනව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ප්‍රධාන වශයෙන් දේශීය ඉල්ලුම පුළුල් වීම තුළින් සිදුවී ඇති අතර, ආර්ථික වර්ධනය සඳහා අපනයන වෙතින් ඉහළ දායකත්වයක් ලැබී නොමැත.

    ශ්‍රී ලංකාව 1977 වසරේ දී නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමේ දී සිය කලාපයේ අනෙකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටියේයත පෞද්ගලික අංශය මූලික කරගත් සංවර්ධනය, අපනයන මූලිකව ආර්ථික වර්ධනය සහ විදේශීය සෘජු ආයෝජන දිරිමත් කිරීම වැනි ලිහිල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් විදේශීය වෙළෙඳාම සහ ආර්ථිකය ජාත්‍යන්තර වෙළෙඳාමට විවෘතවීමේ මට්ටම සම්බන්ධව ප්‍රබල දියුණුවක් කඩිනමින් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

    Export-GDP-1977-2016

    මේ අනුව 1977 දී සියයට 36.4 ක්ව ආර්ථිකය ජාත්‍යන්තර වෙළෙඳාමට ඇති විවෘතභාවය 1979 වන විට ආසන්න වශයෙන් දෙගුණයකින් ඉහළ යමින් සියයට 72.2 ක් බවට පත් වූ ඇත, 1977 දී දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 18.7 ක් වූ අපනයන 1979 දී සියයට 29.2 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ප්‍රතිපත්ති දිශානතියේ ඇති වූ මෙම වෙනස් වීම අපනයන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට හේතු විය.

    1977 දී එක්සත් ජනපද ඩොලර් මිලියන 767 ක් වූ අපනයනය ආදායම, 2000 දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,522 දනක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, 2000 වසරේ සිට අපනයන වර්ධනය සතුටුදායක මට්ටමක නොපැවතුණි.

    2016 වසරේ දී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 10,310 ක් දක්වා ඉහළ ගිය අතර ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 19,400 ක් දක්වා ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳ ගිණුමේ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 9,090 ක් දක්වා පුළුල් විය.

    ලිහිල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ විගස ආර්ථිකයට විශාල වශයෙන් ප්‍රතිලාභ අත්වුවද, මේ වන විට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය ආර්ථිකය ලිහිල්කරණය කිරීමට පෙර පැවති මට්ටම දක්වා පිරිහී ඇති බව පෙනී යයි.

    2016 වසරේ දී ආර්ථිකය වෙළෙඳාමට ඇති විවෘතභාවය සියයට 36.5 ක් වූ අතර, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 12.7 ක් දක්වා පහළ ගොස් ඇත‍. 2015 වසරේ දී මැලේසියාවේ අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 67.5 ක් වූ අතර, එය තායිලන්තයේ සියයට 54.2 ක්ද, වියට්නාමයේ සියයට 83.7 ක්ද විය.