ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7%ක් බව සමීක්ෂණයකින් හෙළිවේ

    December, 6, 2017

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7%ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.

    ඒ අතරින් පුරුෂ පක්ෂයේ සහ ස්ත්‍රී පක්ෂයේ ඩිජිටල් සාක්ෂරතාව පිළිවෙලින් 42.5%ක් හා 35.2%ක් වේ. නාගරික අංශයේ ඩිජිටල් සාක්ෂරතාව 54.5%ක් වන අතර ග්‍රාමීය හා වතු අංශවල පිළිවෙලින් එය 36.4%ක් හා 16.4%ක් වන බව ද එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

    වයස අවුරුදු 05 හා 69 අතර පුද්ගලයින්ගේ ඇස්තමේන්තු කරන ලද පරිගණක සාක්ෂරතා අනුපාතය 2017 මුල් මාස 06 තුල 28.3% ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා විසින් පවසන ලදී. සියයට 41.1 ක වැඩිම පරිගණක සාක්ෂරතාව වාර්තා වී ඇත්තේ, නාගරික අංශයේ පදිංචි පුද්ගලයන්ගෙන් වන අතර ග්‍රාමීය හා වතු අංශවල පරිගණක සාක්ෂරතා අනුපාත පිළිවෙලින් 26.5% හා 9.5% වේ.

    සියළුම වයස් කාණ්ඩ පිළිබඳ සලකා බැලීමේදී වයස අවුරුදු 15 සහ 19 අතර පුද්ගලයින්ගෙන් ඉහළම පරිගණක සාක්ෂරතා අනුපාතය වන 60.7% ක් වාර්තා වී ඇත. අධ්‍යාපන මට්ටම සලකා බැලීමේදී වැඩිම පරිගණක සාක්ෂරතා අනුපාතය වන 71.2% ක් අ.පො.ස. (උ.පෙළ) හා ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබූ පුද්ගලයන්ගෙන් වාර්තා වේ. ඉංග්‍රීසි දැනුම ඇති අය අතර පරිගණක සාක්ෂරතාව 71.1% වන තරම් ඉතා ඉහළ ප්‍රතිශතයක පවතින බව සමීක්ෂණයෙන් තවදුරටත් අනාවරණය වේ.

    “ඩිජිටල් සාක්ෂරතාවය” ශ්‍රී ලංකාව සඳහා අළුතින් හඳුන්වා දුන් දර්ශකයක් වේ. වයස අවුරුදු 5 සහ 69 අතර පුද්ගලයෙකුට පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට් හෝ ස්මාට් දුරකථන භාවිතා කිරීමේ හැකියාව ඇත්නම් ඔහු/ඇය ඩිජිටල් සාක්ෂරතාවක් ඇති පුද්ගලයෙකු ලෙස සලකයි. ශ්‍රී ලංකාව සඳහා ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර පුරුෂ පක්ෂය සහ ස්ත්‍රී පක්ෂය අතර ඩිජිටල් සාක්ෂරතාවය පිළිවෙලින් 42.5% හා 35.2% ක් වේ. ඩිජිටල් සාක්ෂරතාවය නාගරික අංශයේ 54.5% ක් වන අතර ග්‍රාමීය හා වතු අංශ සඳහා පිළිවෙලින් 36.4% හා 16.4% ක් වේ.

    ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා තවදුරටත් පැවසුවේ සියලු දිස්ත්‍රික්ක අතරින් අන්තර්ජාල භාවිතා කරන වැඩිම ජනගහන ප්‍රතිශතය (44.6%) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් 4.9% ක අඩුම ප්‍රතිශතය බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත්ය.

    මෙම සමීක්ෂණය පිළිබඳ විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.statistics.gov.lkයේ ප්‍රකාශයට පත්කර ඇත.