ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිටුදැකීම වෙනුවෙන් සහයෝගය දැක්වීමට ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් ආයතනය ප්‍රතිඥා දෙයි

    May, 20, 2022

    කොළඹ, ශ්‍රී ලංකාව - 2022 -  ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් ආයතනය, ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් වන ග්‍රේටර් ගිවින් ශ්‍රී ලංකා සමඟ අත්වැල් බැඳ ගනිමින් ගල්ලෑල්ල, හපුගස්තැන්න ප්‍රදේශයේ වැසියන් හට අත්‍යවශ්‍ය වියලි ආහාර සලාක සහ පෙර සැකසූ ආහාර ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද වගයි.

    මෙම සංකල්පනාව, ව්‍යාපෘතියක් ලෙස ඵල දරන්නේ ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් ආයතනයෙහි ආයතනික සමාජ වගකීම් හස්තය වන ‘හෑන්ඩ්ස් ඔෆ් හෝප්’( Hands of Hope) වැඩසටහන තුළිනි. එමගින් ගල්ලෑල්ල ප්‍රදේශයේ වෙසෙන පවුල් 170 කට, වර්ග පහළොවක් පමණ වූ ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2000 ක්  බෙදාහරින ලදී.

    ග්‍රේටර් ගිවින් ශ්‍රී ලංකා සංවිධානය හා ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර්  ආයතනය අතර ඇතිවූ හවුලෙහි වන මනා ගැලපීම වනුයේ එම ආයතන දෙකෙහිම ආයතනික සමාජ වගකීම් අංශයන් එකම අභිලාෂයන්, එනම් සමාජ සාධාරණත්වය සාක්ෂාත් කිරීම සහ දීප ව්‍යාප්තව ජනතාවගේ ප්‍රජා තත්ත්වයන් වැඩි දියුණු කරමින් දරිද්‍රතාව පිටුදැකීම පෙරදැරි කොටගෙන ක්‍රියා කිරීමයි.

    ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර්  ආයතනයෙහි සම නිර්මාතෘ වන ශ්‍යාමලී විජේගුණවර්ධන මහත්මිය සමඟ කළ සාකච්ඡාවෙහිදී ඇය විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ “මේ මොහොතේ ශ්‍රී ලංකාව පසුකරමින් සිටින්නේ එහි දුෂ්කරතම සහ කටුක කාලයක්. එසේ නමුත් දේශයක් ලෙසින්, මින් පෙර දුෂ්කර කාලයන්හිදී එක්සත් ව නැඟී සිටියාක් මෙන් අප මේ මොහොතේදී ද ජයග්‍රහණය වෙනුවෙන් නැඟී සිටින බව මට විශ්වාසයි. ශ්‍රී ලාංකික ප්‍රජාව පත්ව ඇති අසීරු, වේදනාකාරී තත්ත්වය ගැන අප ඉතාමත් හොඳින් වටහාගෙන සිටිනවා. අප ග්‍රේටර් ගිවින් ශ්‍රී ලංකා සංවිධානය සමඟින් අත්වැල් බැඳගෙන, දෛනික අවශ්‍යතා සපුරාගැනීමට අපහසු පවුල් 170 ක් වෙනුවෙන්  සලාක ප්‍රදානය කරන්නට පෙළඹුණේ ඒ නිසයි. අප විසින් මෙතෙක් කල් කරන්නට යෙදුණාක් මෙන් ඉදිරියටද රට වැසියන්ගේ දරිද්‍රතාව පිටුදැකීම වෙනුවෙන් අපගේ සන්නාම ආචාර ධර්ම හා ප්‍රජා විශ්වාසයන් සමඟ පෑහෙන තවත් සංවිධාන සමගින් එකතු වී දේශයේ නන් දෙස සිටින ජනතාව වෙනුවෙන් මින් ඉදිරියටත් කටයුතු කරනවා” යනුවෙනි.

    මෙම සබැඳියාව සහ ආධාර බෙදා දීමේ කර්තව්‍යය ගැන අදහස් දක්වමින් ග්‍රේටර් ගිවින් ශ්‍රී ලංකා සංවිධානයෙහි සම නිර්මාතෘ ඉෂංකි ගුණසේකර පැවසුවේ, ග්‍රේටර් ගිවින් යනු, දිවයිනේ සෑම දෙසකම වෙසෙන අඩු ආදායම්ලාභී ප්‍රජාවෙහි දිළිඳුකම පිටුදැකීම, සමාජ සාධාරණත්වය උදා කරලීම සහ ජීවිත රැකගැනීම වෙනුවෙන් කැපවුණු  ලාභ අරමුණු කර නොගත් ආයතනයක්. අප විශ්වාස කරන්නේ මිහිමත වෙසෙන සෑම මනුෂ්‍යයෙකු හට ම ආරක්ෂිතව සහ ගෞරවණීයව ජීවත් වීමට අයිතියක් ඇති බවයි. මෙම සංවිධානය බිහි වූයේ අඩු ආදායම් ලාභී ප්‍රජාව වෙනුවෙන් යමක් කිරීමට කැපවීමට උනන්දුව ඇති පුද්ගලයින් එකට එක් කිරීම උදෙසායි. සහෘද ශ්‍රී ලාංකික ජනයා හට උපකාර කිරීම නම් උතුම් අභිමතාර්ථය පෙරදැරිව, ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර්  ආයතනය සමඟින් දිගු ගමනකට අත්වැල් බැඳ ගැනීමට හැකි වීම අප ලද මහත් සතුටක්.” යනුවෙනුයි

    වර්ෂ 1995 දී දයා විජේගුණවර්ධන මහතා සහ ශ්‍යාමලී විජේගුණවර්ධන මහත්මිය විසින් ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර්  ආයතනය ආරම්භ කරන ලදී. මේ වන විට මෙම ඇඟලුම් සන්නාමය වත්තල, නුගේගොඩ, මහරගම, පානදුර, කොල්ලුපිටිය, බම්බලපිටිය, මීගමුව සහ කිරිබත්ගොඩ නගර ආවරණය කරමින් ප්‍රධාන අලෙවිහල් 8 කින් ද, අන්තර්ජාල අලෙවි පහසුකමින් ද සමන්විතයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් සන්නාමයක් වන ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් , සිය නිෂ්පාදන වලින් 85% ක ප්‍රමාණයක් දේශීයව සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීමද විශේෂත්වයකි.