ශ්‍රී ලංකාවේ දී ඉලෙක්ට්‍රික් කාර් එකලස් කිරීමට ඉන්දුනීසියානු ආයෝජකයින්ට ආරාධනා

    December, 13, 2021

    ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ඉන්දුනීසියාවේ විදුලි වාහන නිෂ්පාදන අංශයේ සහ එකලස් කිරීමේ අංශයේ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පියවර ගනී

    ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ඉන්දුනීසියානු විදුලි වාහන කර්මාන්ත සංගමයේ (Periklindo) සාමාජිකයන් සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ විදුලි වාහන එකලස් කිරීමේ හැකියාව ඇතුළුව විදුලි වාහන නිෂ්පාදන අංශයේ අවස්ථා ගවේෂණය කිරීමේ අරමුණින් අතථ්‍ය හමුවක් සංවිධානය කළේ ය. මෙම අතථ්‍ය හමුව 2021 දෙසැම්බර් 07 වැනි දින පැවැත්විණි.

    පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්තියට අනුකූලව විදුලි වාහන ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව උපායමාර්ගික සැලැස්මක් සකස් කරමින් සිටින බව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි යසෝජා ගුණසේකර මහත්මිය සඳහන් කළාය. ආයෝජන ප්‍රවර්ධන අධ්‍යක්ෂිකා නිලුපුල් ද සිල්වා මහත්මිය සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ සුදත් ජයසේකර මහතා ආයෝජන රෙගුලාසි සහ වත්මන් වෙළඳපොළ තොරතුරු පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර, පෙරික්ලින්ඩෝ සංගමයේ සාමාජිකයන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ද ලබා දුන්හ.

    ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ මෙම හමුව සඳහා තුන්වැනි ලේකම් (වාණිජ) හේෂානි ප්‍රේමතිලක මහත්මිය, රාජ්‍ය සබඳතා නිලධාරිනී ජෙනේසා ලහෝපේ මහත්මිය සහ රාජ්‍යතාන්ත්‍රික විධායක නිලධාරී ඒ. ෆෙබ්‍රි ෆලාහුදීන් මහතා යනාදීහු සහභාගී වූහ.