ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සහතිකලත් ආහාර රසායනාගාරයක්

    March, 7, 2018

    ආහාර නිෂ්පාදන හා ඇසුරුම්කරණ අංශයේ සංවර්ධනයට රුපියල් මිලියන 100 ක් වෙන් කර තිබෙන බවත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන්  ශ්‍රි ලංකාවේ ප්‍රථම සහතිකලත් ආහාර රසායනාගාරය ආරම්භ කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ  පසුගිය දා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති " PRO FOOD PRO PACK " සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

    මෙම Pro food pro pack සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ ශ්‍රි ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය විසිනි.

    මෙම සම්මාන උළෙලේදී ආහාර නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ හා ආහාර ඇසුම්කරණ ක්‍ෂේත්‍රයේ ව්‍යවසායකයින් සම්මානයට පාත්‍ර විය. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලට සමගාමීව 2018 අගෝස්තු මසදී, ආහාර  සැකසුම් හා ඇසුරුම්කරණ ප්‍රදර්ශනයක්ද පැවැත්වේ. මෙම සම්මාන උළෙල හා ප්‍රදර්ශනය ප්‍රථමයෙන් ආරම්භ වූයේ 2011 වසරේදී ය. මෙම ආහාර නිෂ්පාදන හා ඇසුරුම්කරණ ක්‍ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායකයින්ගෙන් බහුතරය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

    කුඩා හා මධ්‍යම පරිමාණ  ව්‍යවසායකයින් යටතේ වැඩ කරන සෘජු හා වක්‍ර රැකියාලාභීන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 ක් පමණ වන බවත් එම නිසා මෙම ක්‍ෂේත්‍රය අප රටේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ වගේම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය කුඩා හා මධ්‍යම පරිමාණ ආහාර සැකසුම් ව්‍යාපාරිකයින් වෙනුවෙන් ආරම්භ කරන සහතිකලත් ආහාර රසායනාගාරය ශ්‍රි ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ආහාර නිෂ්පාදන පරීක්‍ෂා කරන ප්‍රථම රසායනාගාරය වේ. ඒ සඳහා කර්මාන්ත සංවර්ධන නිලධාරීන් දිස්ත්‍රික්ක මට්ටමින් සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන බවත්  එසේම මෙම රසායනාගාරය මඟින් දේශීය හා විදේශීය වශයෙන් ආහාර ප්‍රමිතිය, ශ්‍රි ලංකාවේ ප්‍රමිති ආයතනය හා ISO ජාත්‍යන්තර ප්‍රමිතියේ මට්ටමින් පරීක්‍ෂා කෙරෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ  මේ මඟින් අපේ ආහාර අංශය ඉහළම මට්ටමින් සංවර්ධනය කිරීමටත්, එමඟින් ලැබෙන අපනයන ආදායම වැඩි කර ගැනීමටත් අපේක්‍ෂා කරන බවයි.

    අපි " කර්මාන්ත ඵලදායීතාව, වෙළෙඳපොළ තරඟකාරීත්වය සහ තිරසාර සංවර්ධන වැඩසටහන් '' දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වැඩසටහන යටතේ මේ වන විට සමාගම් 100 ක් පමණ ප්‍රතිලාභ ලබා තිබෙන බව ද සඳහන් කළේය.

    "යහපත් නිෂ්පාදන පුරුදු (රීති) " සහ ISO 14000 සහතික මෙම වැඩසටහන යටතේ ලබා දී තිබේ.

    ඒ වගේම ආහාර සැකසුම් තාක්‍ෂණය දියුණු කිරීම මඟින් කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයින් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මක කරගෙන යනවා. අපි මෙම ව්‍යාපෘති දීප ව්‍යාප්තව රට පුරාම පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් ඇසුරුම් ක්‍ෂේත්‍රයේ සිටින ක්‍ෂුද්‍ර ආහාර නිෂ්පාදකයින් දිරි ගැන්වීමට බලාපොරොත්තු වෙනවා. මේ මඟින් අපි ඉලක්ක කරන්නේ මෙම ක්‍ෂේත්‍රයත් අපගේ අපනයන අංශයට එකතු කිරීමටයි." යැයි පැවසීය.

    මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ආහාර සැකසුම් සංගමයේ සභාපති මලික්ද අල්විස්, ලේකම් තුසිත් විජේසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.