ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය කිරීම සඳහා අර්ථවත් මැදිහත් වීමක් නව රජයෙන් අපේක්ෂා කරනවා – කොටස් වෙළෙඳපොළෙන් නිවේදනයක්

    August, 13, 2020

    මෑතකදී අවසන් වූ මහ මැතිවරණයේදී බහුතර ජනවරමක් ලබා සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීම සම්බන්ධව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් නව රජය වෙත කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින්  සිය සුභාශිංසන පළ කරන ලදී.

    ශ්‍රී ලාංකීය ජනතාව විසින් නව රජයට ලබා දී ඇති තීරණාත්මක සහයෝගය ගැන කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රසාදය පළකරන අතර නව පරිපාලනය විසින් ශක්තිමත්, සැලසුම් සහගත සමාජ-ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කොට ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආයෝජන වාතාවරණයක් ගොඩනගනු ඇතැයි කොළඹ කොටස් හුවමාරුව සිය විශ්වාසය පළ කරයි. විශේෂයෙන්ම, ගැසට් කරන ලද නිශ්චිත වගකීම් යටතේ මුදල් අමාත්‍යාංශය තුළ රාජ්‍ය අමාත්‍යවරුන් යටතේ ප්‍රාග්ධන වෙළෙඳපොළවල් ඇතුළත් කිරීම පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව සිය සතුට ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළවල් සංවර් ධනය කිරීම සඳහා අර්ථවත් මැදිහත් වීමක්ද නව රජයෙන් අපේක්ෂා කරයි.

    නව රජයට ලබා දී ඇති ජනවරම තුලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන වේගවත් හා තිරසාර සමාජ ආර්ථික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සක්‍රීය කිරීමට මෙය අනගි අවස්ථාවක් වනු ඇත.

    වාණිජමය ව්‍යවසායන් සඳහා ප්‍රාග්ධනය එක්රැස්කර ගැනීමට සහ පුරවැසියන් සඳහා ධනය උත්පාදනය කිරීමට පහසුකම් සැලසීමේදී ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළ වැදගත් කාර්යභාර්යයක් ඉටු කළ යුතු බව කොළඹ කොටස් හුවමාරුව තරයේ විශ්වාස කරන අතර අදාළ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ රජයේ සංවර්ධන දැක්මට සක්‍රියව සහාය දක්වන වෙනත් රාජ්‍ය ආයතන සහ වෙළඳපොළ අතරමැදියන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.