ශ්‍රී ලංකාවේ පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය

    March, 30, 2022

    ශ්‍රී ලංකා‍වේ සංවර්ධන ව්‍යාපෘති සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී අනිවාර්යෙන්ම සලකා බැලිය යුතු කාරණාවක් වන්නේ අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේදි  අවට පරිසරයට ඇති විය හැකි බලපැම පිළිබඳ නිවැරදි තක්සේරුවකට එළඹ්මයි.

    ඒ අනුව, අදාල බලපවත්නා නියමයන්ට අනුව පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සිදු කිරිම මුළික අරමුණු කිහිපයක් පෙරදැරිව සිදු කරයි.

    ඒවා අතර අදාල ව්‍යාපෘතියට උපයෝගී කර ගන්නා සම්පත් උපයෝජනය ප්‍රශස්ත කිරීම, ඊට අදාල සම්පත් නාස්තිය අවම කිරීම, අරමුදල් ඉතිරි කිරීම සහ නිම කිරීමට ගතවන කාලය ඉතිරි කිරීම මෙන්ම යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවල සමාජ-සංස්කෘතික පිරිවැය  පිළිබඳව නිවැරදි නියමනයන්ට එමේ පහසුව සලසා දිම ප්‍රධාන වේ.

    මුලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් (IEE) හා පාරිසරික බලපෑම් ඇගැයිමේ වාර්තාවක් (EIA) අතර ඇති වෙනස කුමක්ද?

    ව්‍යාපෘති වල පාරිසරික බලපෑම් එතරම් ප්‍රබල තත්ත්වයක නොපවති නම්, එවිට සාපේක්ෂ වශයෙන් කෙටි හා සරළ අධ්‍යයනයක් වන මුලික පරිසරික පරීක්ෂණයක් (IEE) කිරීමට සිදුවේ.  ඇති විය හැකි බලපෑම් ඉතාමත් ප්‍රබල තත්වයක පවතී නම්, එවිට පාරිසරික බලපෑම් පිළිබඳ වඩාත් සවිස්තර හා පුළුල් අධ්‍යයනයක් වන පරිසරික බලපෑම් ඇගයීමක් (EIA) කිරිමට සිදුවේ.

    මේ අකාරයෙන් අදාල ව්‍යාපෘතිය අනුමත කරන ආයතනය වෙත මෙසේ ලබා ගත් මූලික පාරිසරික පරීක්ෂණ (IEE) වාර්තාවක් හෝ පාරිසරික බලපෑම් තක්සේරු (EIA) වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අදාල ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කිරිම සදහා අනුමැතිය ලබා ගත යුතුය.

    1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත (සහ එහි සංශෝධිත පනත්) ශ්‍රී ලංකාවේ පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලිය පිළිබද ප්‍රතිපාදන දක්වනු ලබන ප්‍රධාන  පනතයි.

    මීට අමතරව, 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත (සහ එහි  සංශෝධිත පනත්), 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත (සහ එහි සංශෝධිත පනත් ) සහ 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය අනුව " නියමිත ව්‍යාපෘති " සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක්  ඉදිරිපත් කිරීම  අවශ්‍ය වේ.

    නියමිත ව්‍යාපෘති (Prescribed Projects ) මොනවාද?

    නියමිත ව්‍යාපෘති යනු පාරිසරික බලපෑම් තක්සේරුවක් අවශ්‍ය වන සංවර්ධන ව්‍යාපෘති  වේ.

    මූලික පාරිසරික පරීක්ෂණ (IEE) හෝ පාරිසරික බලපෑම් තක්සේරු (EIA)  වාර්තා අවශ්‍ය වන නියමිත ව්‍යාපෘති කවරේද යන්න 1993.06.24 දිනැති අංක 772/22 සහ , 1999.11.05 දිනැති අංක1104/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල  සහ අංක 29.11.1999 දිනැති අංක 1108/1 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.

    ව්‍යාපෘති අනුමත කරන ආයතන ( PAA ) මොනවාද?

    1995.02.23 දිනැති අංක 859/14 සහ 1997.06.04 දිනැති අංක 978/13 මෙන්ම 2004.12.29 දින අංක 1373/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර මගින් , ව්‍යාපෘති අනුමත කිරිම සදහා බලයලත්  රාජ්‍ය නියෝජිතායතන ගණනාවක් සඳහන් කරයි.

    ඒනම් පහත විෂයන්ට අදාළ අමාත්‍යංශ ,

    • ජාතික සැලසුම්කරණය
    • වාරිමාර්ග
    • බලශක්ති
    • කෘෂිකර්ම
    • ඉඩම්
    • වනාන්තර
    • කර්මාන්ත
    • නිවාස
    • ඉදිකිරීම්
    • ප්‍රවාහන
    • මහාමාර්ග
    • ධීවර
    • ජලජ සම්පත්
    • වැවිලි කර්මාන්ත

    අදාළ දෙපාර්තමේන්තු සහ ආයතන:

    • වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
    • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
    • නාගරික සංවර්ධන අධිකාරිය
    • මධ්‍යම පරිසර අධිකාරිය
    • භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය
    • ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
    • ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
    • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
    • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

    ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය (PAA) තීරණය කිරීම

    පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලියට අදාළ වන පනත් සහ රෙගුලාසි මඟින් එක් එක් නියමිත ව්‍යාපෘතිය සඳහා අදාළ ව්‍යාපෘති අනුයෝජිත ආයතන (PAA) තීරණය කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සපයයි.

    ඒවා අතර, ව්‍යාපෘතියේ ස්වභාවය, විෂය පථය, ව්‍යාපෘති පිහිටීම, ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය ( PAA) තීරණය කිරීමේ ප්‍රධාන සාධක වේ.

    උදාහරණ -

    • වෙරළ කලාපය තුළ පිහිටා ඇති ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය වන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යි.
    • ආයෝජන ප්‍රවර්ධන කලාප තුළ සිදු කරනු ලබන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයයි.
    • වයඹ පළාත තුළ පිහිටා ඇති සියලුම ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය වයඹ පළාත් පරිසර අධිකාරිය යි .

    මූලික පාරිසරික පරීක්ෂණ (IEE) වාර්තාව

    මූලික පාරිසරික පරීක්ෂණ (IEE) වාර්තාවක් යනු යෝජිත සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරයට විය හැකි බලපෑම් තක්සේරු කිරීමේ මෙවලමකි.

    යෝජිත ව්‍යාපෘතියක බලපෑම් තීරණය කිරීමේ අරමුණින් එය සිදු කරනු ලබන අතර, එමඟින් සිදුවිය හැකි සියලුම පාරිසරික බලපෑම් සහ එවැනි බලපෑම්වල තීව්‍රතාවය ඇතුළත් විය යුතුය.

    සාමාන්‍යයෙන් IEE සිදු කරනු ලබන්නේ පරිසරයට සිදුවන හානිය අඩු යැයි සැලකෙන ව්‍යාපෘති සඳහා ය.

    මූලික පාරිසරික පරීක්ෂණ  වාර්තාවක් මත පමණක් පදනම්ව යම් ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යාමට අනුමැතිය ලබා දිය හැක. නමුත් යම් හෙයකින් සිදු විය හැකි බලපෑම් මුලින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යැයි තක්සේරු කරන්නේ නම්  පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තාවක් ලබා ගැනීම සදහා තීරණය කිරීමේ බලය ව්‍යාපෘති අනුමත කිරිමේ අනුයෝජිත ආයතනය සතු වේ.

    මූලික පාරිසරික පරීක්ෂණය (IEE) මෙන්ම පාරිසරික බලපෑම් තක්සේරු (EIA) ක්‍රියාවලි දෙකම බොහෝ දුරට සමාන වේ.

    පියවරෙන් පියවර මෙම ක්‍රියාවලිය සිදු විය යුතු ආකාරය  1993.06.24 දිනැති අංක 772/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති පාරිසරික බලපෑම් තක්සේරු රෙගුලාසිවල දක්වා ඇත.

    EIA වාර්තාවක් මෙන් නොව, IEE වාර්තාවක යෝජිත ව්‍යාපෘතියට විකල්ප හෝ  හඳුනාගත් බලපෑම් සඳහා අවම කිරීමේ ක්‍රම සෙවීමට උත්සාහ නොකරන අතර පාරිසරික පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයක් ද සිදු නොකරයි.

    IEE වාර්තාවක් පොදු ලේඛනයක් වන අතර න්‍යායාත්මකව, මහජනයාට වාර්තාවට ප්‍රවේශය ඇතත්, 2000 දී සංශෝධිත ජාතික පාරිසරික පනත  අනුව පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සම්බන්ධව තම අදහස් දැක්වීමට මහජනයාට ඇති අයිතිය, මූලික පාරිසරික පරීක්ෂණය IEE ක්‍රියාවලිය තුළ අනිවාර්ය පියවරක් නොවේ.

    එසේ වුවද, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත සහ වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය තුළ IEE වාර්තා පිළිබද අදහස් දැක්වීමට මහජන සහභාගීත්වය සඳහා පහසුකම් සපයන බවට තර්ක කළ හැකිය.

    පාරිසරික බලපෑම් තක්සේරු (EIA) වාර්තාව

    EIA වාර්තාවක් යනු යෝජිත ව්‍යාපෘතිය ට අදාලව සිදු විය හැකි පරිසරික බලපැම් පිළිබඳව වන පුර්ව ලිඛිත විශ්ලේෂණයකි. මෙම ලිඛිත විශ්ලේෂණයට ව්‍යාපෘතියේ විස්තරයක් ඇතුළත් වේ.  වළක්වා ගත හැකි සහ නොවැළැක්විය හැකි අහිතකර පාරිසරික බලපෑම්; අවම බලපෑම් සහිත විකල්ප ප්‍රතික්ෂේප කිරීමට හේතුව ඇතුළුව පරිසරයට හිතකර ඕනෑම විකල්පයක් පිළිබඳ විස්තරය; සහ අවසාන වශයෙන්, යෝජිත ව්‍යාපෘතියට අවශ්‍ය වන නැවත වෙනස් කල නොහැකි හෝ ආපසු හැරවිය නොහැකි පරිදි වැයවන සම්පත් පිළිබඳ විස්තරයක් ද ඇතුලත් වේ.

    යම් ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට  පෙර එමගින්  පරිසරයට එල්ලවිය හැකි බලපැම් පිළිබඳව  පාරිසරික බලපෑම් තක්සේරු (EIA) වාර්තාව මගින් තක්සේරු කරයි.

    පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය

    පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියේ සියළු පියවරයන්  අදාළ අණ පනත් වල  දක්වා ඇති අතර පහසු පරිශීලනය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මාර්ගෝපදේශ පොත් පිංචක්  ප්‍රකාශයට පත් කර ඇත. පහත ලැයිස්තුගත කර ඇති පරිදි EIA ක්‍රියාවලියේ පියවර කිහිපයක් ඇත

    1) - පූර්ව තොරතුරු

    • ව්‍යාපෘති යෝජකයා (සංවර්ධකයා) විසින් යෝජිත ව්‍යාපෘතියේ ස්වභාවය, විෂය පථය සහ ස්ථානය පිළිබඳ තොරතුරු ස්ථාන සිතියම් සහ ව්‍යාපෘති අනුයෝජිත ආයතනට අවශ්‍ය අනෙකුත් තොරතුරු සමඟ ඉදිරිපත් කළ යුතුය.

    2) පාරිසරික විෂය පථය

    පාරිසරික බලපෑම් තක්සේරුවේදී ආමන්ත්‍රණය කළ යුතු ව්‍යාපෘතියේ අන්තර්ගත වැදගත් ගැටලු හඳුනාගැනීම මෙහිදී සිදුවේ .

    3) මහජන සහභාගීත්වය

    ජාතික පාරිසරික පනතේ මහජන සහභාගීත්වය සඳහා විධිවිධාන අඩංගු වන අතර පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියේ වඩාත් තීරණාත්මක අංගය ද වේ .

    4) තීරණ ගැනීම

    ව්‍යාපෘති අනුයෝජිත ආයතනය  විසින් නිශ්චිත කොන්දේසි වලට යටත්ව අනුමැතිය ලබාදීම  හෝ ප්‍රතික්ෂේප කළ යුතු වේ.

     

    5) ව්‍යාපෘති අනුයෝජිත ආයතනය විසින් අධීක්ෂණය කිරීම

    ව්‍යාපෘතියේ කොන්දේසිවලට අනුකූල වීම සහ හානී අවම කිරීමේ ක්‍රියාමාර්ගවල සඵලතාවය සම්බන්ධයෙන් ව්‍යාපෘති අනුයෝජිත ආයතනය විසින් අධීක්‍ෂණය කළ යුතුය.

     

    වර්තමාන පාරිසරික ඇගයීම් ක්‍රියාවලියේ දුබලතා

    • • IEE/EIA වාර්තා මගින් පාරිසරික ඇගයීමක් සිදු කල යුතු නියමිත ව්‍යාපෘතිලැයිස්තුව රටේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති හා සසදා බලන කළ නිසි ලෙස යාවත්කාලීන වී නොමැත.
    • කිසියම් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් පිළිබඳ මහජන සමාලෝචනයක් සිදු කිරිම සඳහා ලබා දි ඇති  දින 30ක කාලසීමාව ප්‍රමාණවත් නොවේ. එවැනි වාර්තාවක් නිකුත් කර තිබේද යන්න පිළිබඳව මහජනතාවට දැන ගැනීමට ඇති අවස්ථා අල්ප වන අතර, එසේ දැන ගත්තද කෙටි කාලයක්  තුළ අතිශය තාක්ෂණික විස්තර කිරිම් සහිත  දීර්ඝ වාර්තාවක් විශ්ලේෂණය කර අදහස් දැක්වීමද අපහසුය.
    • එපමනක් නොව, එවැනි නියම කරන ලද ව්‍යාපෘතියක් ප්‍රතික්ෂේප කිරීම හෝ තිරසාර සංවර්ධනයට සරිලන පරිදි සංශෝධන කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ සාක්ෂි පෙන්වීමට කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය නම් , එම දත්ත රැස් කිරීම සඳහා ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොවේ.
    • IEE වාර්තා සම්බන්ධව අදහස් දැක්වීමට අවස්ථාව මහජනයාට උදා නොවේ.
    • මහජන අදහස් විමසීමේ සැසියක් පැවැත්වීම ව්‍යාපෘති අනුයෝජිත ආයතනයයේ  අභිමතය පරිදි පමණක් සිදු වේ. 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තියේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවෙහි තාක්ෂණික සමාලෝචනය සිදු කළ යුතු ආකාරය පිළිබඳ කිසිදු විධිවිධානයක් අඩංගු නොවේ.
    • ශ්‍රී ලංකාව තුළ අනුමත කරන ලද ව්‍යාපෘති, පසු අධීක්ෂණය දුර්වල තත්ත්වයක පවති.