March, 4, 2026
ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය පාලම් ඉදිකිරීම සදහා මහා බ්‍රිතාන්‍යයේ ACRO (MABEY BRIDGE) සමාගම ඉදිරිපත් වී ඇත. ලොව රටවල් රැසක පාලම් ඉදිකිරීම් සිදුකර ඇති මෙම ජාත්‍යන්තර සමාගම ශ්‍රී ලංකාව තුළ 2003 සහ 2006 වසරවලදී ග්‍රාමීය පාලම් ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සිදුකර ඇත.
2004 වසරේ සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් උතුරු, නැගෙනහිර ඇතුලු රටේ විවිධ ප්‍රදේශවල විනාශයට පත් පාලම් ප්‍රතිසංස්කරණයටද ACRO (MABEY BRIDGE) සමාගම සිය දායකත්වය ලබාදී තිබෙන අතර, යුද ගැටුම් සහ සුනාමි, නායයාම් වැනි ස්වභාවික ආපදාවලින් විනාශයට පත්වන පාලම් ප්‍රතිෂ්ථාපනයට අවශ්‍ය පෙරසවි පාලම් නිර්මාණය කරමින් හදිසි තත්ත්වයන් වලදී ප්‍රතිචාර දැක්වීමට හැකි ලොව ප්‍රමුඛපෙලේ පාලම් ඉදිකිරීම් සමාගමකි.
ශ්‍රී ලංකාව තුළ ACRO (MABEY BRIDGE) සමාගම සම ඉදිරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබද සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා සහ සමාගමේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (03) බත්තරමුල්ල පිහිටි අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
පසුගිය වසරේ ඇතිවූ දිට්වා ආපදාවෙන් හානියට පත් පාලම් නැවත ඉදිකිරීමට හෝ ප්‍රතිසංස්කරණයටත් ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සදහා නව පාලම් ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබදවත් මීට පෙර ඉදිකිරීම් සිදුකර ඇති ‘මඩකලපුව - කල්අඩි පාලම’, ‘බත්තරමුල්ල - පොල්දූව පාලම’ සහ ‘කැලණිය පෙරසවි ගුවන් පාලම’ ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
Video Story