ශ්‍රී ලංකාවේ “සංවර්ධන ප්‍රතිපත්ති” ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන රජයෙන් යෙන් බිලියන 10 ක සහන ණය ආධාර මුදලක්

    August, 1, 2016

    ශ්‍රී ලංකාවේ "සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම" සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ණය ආධාර මුදලක් (යෙන් බිලියන 10 ක්) ලබාදීමට ජපාන රජය තීරණය කරයි.

    මීට අදාළ ප්‍රකාශ ලියවිල්ල, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා විසින්, මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත පසුගිය දා (30) මුදල් අමාත්‍යාංශයේ දී භාරදෙනු ලැබීය.

    2016 අයවැය මඟින්, රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන්, කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදීමක් වශයෙන්, මෙම ණය මූල්‍යාධාරය පිරිනැමීමට ජපාන රජය තීරණය කර තිබේ.

    මෙම ණය මුදල වසර 25 කින් ගෙවා නිම කළ යුතුව ඇති අතර ණය ගෙවීම් ආරම්භ කිරීම සඳහා ඉදිරි වසර 07 ක සහන කාලයක් ලබාදී තිබේ. වාර්ෂිකව 1.4% ක පොලී අනුපාතිකයක් යටතේ මෙම ණය මුදල ලබාදී ඇත.

    මෙවැනි ආධාර මුදලක් ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන්නේ පළමු වරටය.

    මීට අදාළ ප්‍රකාශ ලියවිල්ල මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාට බාරදීමෙන් අනතුරුව ජපාන තානාපති කෙනිචි සුගනුමා මැතිතුමා කියා සිටියේ, මෙම ආධාරමුදල් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා සහාය වීමක් ලෙස ලබාදී ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සුහදතාවය ශක්තිමත් කරගැනීම ද මෙම ක්‍රියාවලියෙන් අපේක්ෂා කරන බව තානාපතිවරයා පැවැසීය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා කියා සිටියේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපානයේ සිදු කළ නිල සංචාරයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම මූල්‍ය ආධාරය හිමි වූ බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තබා ඇති විශ්වාසය මේ තුළින් තවදුරටත් ප්‍රත්‍යක්ෂ වන බව ද, රවී කරුණානායක මැතිතුමා පෙන්වා දුන්නේය.

    වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා -

    “ණය නැතුව රටක් සංවර්ධනය කරන්න බැහැ. නමුත් අපි ගන්න ණය පාවිච්චි කරන්න ඕනෙ රටේ ජනතාවගේ අභිවෘද්ධියට මිසක් පෞද්ගලික සුඛවිහරණයට නෙවෙයි. අපට අවශ්‍ය වන්නේ මේ වැටිල තියෙන ආර්ථිකය ගොඩනංවන්නයි. එදා අපි කිවුව සංවර්ධනය මුදල් ලබා දෙනව කියල. අද පේන්න තියෙනව ඒ මුදල් ලැබෙන හැටි. ඒ නිසා මේ මුදල්වලින් සංවර්ධනය රටේ හැම කොනකට ම ගෙනියන්න තමයි අදහස් කරන්නෙ. එදා සංවර්ධනය කෝ කියල කෑ ගහපු අය අද ටිකක් බය වෙලා පා ගමන් යමින් ඉන්නවා.”යැයි ද අමාත්‍යවරයා පැවැසීය.