ශ්‍රී ලංකාවේ සියලුම පෞද්ගලික රෝහල් විදෙස් දානපතියන්ගෙන් බෙහෙත් ඉල්ලයි

    May, 2, 2022

    බෙහෙත් හිඟය දරුණුයි. අසරණ රෝගීන්ගේ ජීවිත අනතුරේ

    ■ බෙහෙත් නොමිලේ ලබාදෙන බවට ද සහතික වෙයි

    මේ වනවි ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන උග්‍ර ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් දිනෙන් දින අවදානමට ලක්වෙමින් පවතින අහිංසක රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා හැකි ඉක්මණින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට පරිත්‍යාග කරන ලෙස පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් දානපතියන්ගෙන් ඉල්ලා සිටියි. විදෙස් සංචිත සිඳීයාමත්, ඩොලර් හිඟයත් හේතුවෙන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීම බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත රෝහල් පද්ධතියම දැඩි අර්බුදයකට මුහුණදී තිබෙන බව ද පවසයි.

    ඉතා ඉක්මණින් මේ තත්ත්වය මඟහරවා ගැනීම සඳහා පියවරක් නොගතහොත් ඉදිරියේදී මෙරට සමස්ත සෞඛ්‍ය පද්ධතියම දරුණු කඩාවැටීමකට ලක්විය හැකි බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.

    ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස නියෝජනය කරන එකමුතුව ලෙස සිය සංගමය අවස්ථා රැසකදීම මෙම අවදානම් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව දැනුවත් කිරීමට පියවර ගත් බවත්, මේ වනවිට හිඟ වී ඇතැයි හඳුනාගෙන තිබෙන ප්‍රධාන ඖෂධ වර්ග 76ක් පිළිබද පසුගියදා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා දැනුවත් කළ බවත් සංගමය විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ඒ අනුව,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද අනුමැතිය ඇතිව, ලේඛනයේ ඇති සහ නැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග ලෙස මෙරටට ගෙන්වා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විසින් දියත් කර ඇති අතර, එම ඖෂධ රෝගීන් වෙත සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට කටයුතු කරන බවටද සංගමය විසින් සහතිකයක් ලබා දී ඇත.

    මේ සදහා දායකවීමට බලාපොරොත්තු වන පරිත්‍යාගශීලීන්ට +94 0777755171 (ආචාර්ය ආනන්ද කුරුප්පු ආරච්චි-සභාපති), +94 0773497515 (වෛද්ය සුනිල් රත්නප්රිය - ලේකම් ) යන දුරකථන අංක හෝ pnh.info@yahoo.com සහ sunilratnapreya54@gmail.com ඊ මේල් ලිපින ඔස්සේ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය සමඟ සම්බන්ධ විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.