ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය පොඩ්ඩක් වැඩිවෙයි

    January, 2, 2023

    ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයේ සුළු ඉහළ යෑමක් 2021 වසරේ දී වාර්තා වී ඇති බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    2021 වසරේ දී ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය  0.796ක අගයක් වාර්තා කළ අතර එය කොවිඩ්-19 වසංගතයේ බලපෑම තීව්‍ර වූ 2020 වසරේ වාර්තා කළ 0.764ක අගයට සාපේක්ෂව සුළු ඉහළ යෑමකි. මෙම ඉහළ යෑම සඳහා ‘ආර්ථික සහ ව්‍යාපාර පරිසරය‘, ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකයන් තුනෙහිම වර්ධනය දායක වී ඇත.

    ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකයෙහි 2021 වසරේ ඉහළ යෑම සඳහා  2020 වසරට සාපේක්ෂව පවත්නා වෙළඳපොළ මිල අනුව ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) ඉහළ යෑම, සේවා නියුක්තිය, වැටුප් හා කර්මාන්ත ඝනත්වය යන නිර්නායකයන් හි වැඩිදියුණු වීම හේතු විය. මේ අතර, පසුගිය වසරට සාපේක්ෂව 2021 වසරේ පැවති ඉහළ උද්ධමනය මෙම උපදර්ශකයෙහි වර්ධනය සඳහා අහිතකර ලෙස බලපාන ලදී.