ශ්‍රී ලංකාව කලාපයේ වෙළෙඳ මධ්‍යස්ථානයක්

    April, 15, 2017

    ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා ජපානයේ පෞද්ගලික ආයෝජකයන්ගේ මෙන්ම ජපාන රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Hon. Shinzo Abe) මහතා පැවසීය.

    කලාපයේ දියුණුව සඳහා විවෘත මුහුදු කලාපයක අවශ්‍යතාව පවතින බවත්, ඒ සඳහා සියලුම රටවල ආර්ථික, සමාජයීය සහ දේශපාලනික ස්ථාවරත්වය පවත්වා ගෙන යා යුතු බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පසුගිය දා ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් අබේ මහතා මේ බව පැවසීය.

    ශ්‍රී ලංකාව සමග කාලාන්තරයක් තිස්සේ පවතින මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය ඉතා ඉවහල් වූ බවත්, ඉදිරියේ දී දෙරට අතර පවතින සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ජපාන රජය කටයුතු කරන බවත් ෂින්සො අබේ මහතා සඳහන් කළේය.

    ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ මහතා සඳහන් කළ පරිදි විවෘත සාගර කලාපයක් පවත්වා ගෙන යාම කලාපයේ දියුණුවට ඉතා වැදගත් බව එහිදී පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය කර ශ්‍රී ලංකාව කලාපයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපේක්‍ෂා කරන බව ද පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාවේ වරායන්හි සම්පූර්ණ ආරක්‍ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ ක්‍රියාත්මක වන බවත්, වෙනත් රටවල හමුදා ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවේ වරායන් පාවිච්චි කිරීමට කිසිඳු අවස්ථාවක් නොමැති බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ග්‍රාමීය යටතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළුගඟ ජල සැපයුම් පුළුල් කිරීම සහ වරාය හා නාවික ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් තුනකට ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර මෙහිදී අත්සන් තැබිණ. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක මහතා සහ ජපාන රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා (HE Mr. Kenichi Suganuma) මහතා දෙරට අග්‍රාමාත්‍යවරුන් ඉදිරියේ ඊට අත්සන් තැබූහ.