ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කිරීමේ විශ්වාසනීයත්වය වේගවත්ව ඉහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි

    January, 8, 2020

    ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරිකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය වෙමින් ඇති බවත්, ඊට හේතුව වී ඇත්තේ රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ ඔවුන් තුළ ගොඩනැගී ඇති විශ්වාසය බවත් සංවර්ධන බැංකු හා ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෘෂිකර්මාන්තය සහ ව්‍යාපාරික ප්‍රජාව මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කිරීමේ රජයේ අපේක්ෂාව මේ ඔස්සේ මුදුන්පත් කර ගත හැකි වනු ඇති බවයි.

    බදු ඉහළ නංවමින් රජය වෙත මුදල් රැස් කර ගැනීම වෙනුවට බදු සහන ලබා දෙමින් ජනතාව අතර මුදල් සංසරණය වීමට අවස්ථාව උදාකරලීමත්, ජනතාවට ව්‍යවසායකත්වය පිවිසීම සඳහා මංපෙත් විවර කරලීමත් රජයේ අපේක්ෂාව වේ. එම අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීම සඳහා රජය පත්වූ වහාම ලබා දුන් බදු සහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ව්‍යාපාරික ප්‍රජාව තුළ විශ්වාසනීයත්වය ගොඩනැංවීමට එම තත්ත්වය ප්‍රබල ලෙස හේතුවී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරයන්හි නිරතවීමේ විශ්වාසනීයත්වය විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව ද අනාවරණ කර තිබේ. එම සඟරාව මගින් සිදු කරන ලද දෙසැම්බර් සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර සිදු කිරීමේ විශ්වාසනීයත්වය ස්ථාන 75කින් ඉහළට ගමන් කරමින් 186ක අගයක් පෙන්නුම් කරන බවයි. එය 2015 සැප්තැම්බර් මසින් පසුව ලබා ගත් වැඩිම අගය බව ද එම සඟරාව පෙන්වා දෙයි.

    නව ජනාධිපතිවරයකු බලයට පැමිණීම සහ එම රජය විසින් මෙතෙක් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මෙම තත්ත්වය හේතු තිබේ.  විශේෂයෙන් ම වැට් බද්ද 15% සිට 8% දක්වා පහත හෙලීම, රජයේ අත්‍යාවශ්‍ය නොවන වියදම් කප්පාදුව සහ පෙනෙන්ට අනෙකුත් ඇති වෙනස්කම් හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාවගේ සේම පාරිභෝගික විශ්වාසය ද ඇති වීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

    නව රජය බලයට පත් වීමත් සමග ව්‍යාපාරික පරිසරය ඉදිරියේ දී තවත් යහපත් වනු ඇතැයි අදාළ සමීක්ෂණයට එක් වූ කණ්ඩායම් පෙන්වා දී ඇත. මෙය ව්‍යාපාරික ප්‍රජාවගේ සේම විශේෂයෙන් ම ආයෝජකයන්ගේ ද විශ්වාසය ඉහළ දමන්නක් බව එම සඟරාව පෙන්වා දෙයි.

    ව්‍යාපාරිකයන් බදු බරින් මිරිකී, අයහපත් ආර්ථික කළමනාකරණයකට නතුව තිබූ ශ්‍රී ලංකාව කෙමෙන් ඉන් මිදෙමින් පවතින බවට මෙය කදිම නිදසුනක් බව ෂෙහාන් සේමසිංහ අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

    (මෙය මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශ්‍ය විසින් නිකුත් කරන ලද නිවේදනයකි. ඡායාරූපය LMD වාර්තාව ඇසුරිනි.)