IMF සරණ පතනවාද – තීරණය අද?

    December, 13, 2021

    ශ්‍රී ලංකාව දැනට මුහුණ පා සිටින උග්‍ර විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබා ගන්නවාද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡාවක් අද (13) දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

    අද දින කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    කෙසේවෙතත් මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේම මෙම තීරණය සම්බන්ධයෙන් මත දෙකක් පැන නැඟී ඇති අතර වරක් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ‘මැරුණත් IMF යන්නේ නැහැ යනුවෙනි“.

    ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව 2021 නොවැම්බර් මාසය අවසාන වන විට මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,587.0 ක් වූ අතර එයින් විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 1,009.5 ක් දක්වා පහත වැටී තිබුණි.

    2021 ඔක්තෝබර් මාසය අවසන් වන විට මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 2,269.2 ක් ලෙසත් එයින් විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 1,687.7 ක් ලෙසත් සටහන්ව තිබුණි.