ශ්‍රී ලංකාව මානව සංවර්ධන කාණ්ඩයේ ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීයයි

    December, 12, 2019

    ශ්‍රී ලංකාව මානව  සංවර්ධන කාණ්ඩයේ ලබා ඇති  ඉහල ප්‍රගතිය නව රජයේ  දැක්ම  හා අපේක්ෂිත අරමුණ සපුරා ගැනීමේ කාර්යයට විශාල පිටිවහලක් වන බව ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.ඒ මහතා මෙම අදහස් පළකලේ  පසුගියදා (දෙසැ10)  2019 වර්ෂයට අදාල එක්සත් ජාතීන්ගේ  මානව සංවර්ධන වාර්තාව එළි දැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී මෙම  උත්සවය පැවැත්විණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “2019 සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි මානව සංවර්ධන වාර්තාව එළිදැක්වීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳ සතුටු වෙනවා. ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකා රජයේ මූලික හරය වන මානව සංවර්ධනය පිළිබඳව උනන්දුවන පිරිසක් ඉදිරියේ කථා කිරීමට ලැබීමත් සතුටට කරුණක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම වන්නේ සංවර්ධිත රටවලට සමගාමීව ඉහල මානව සංවර්ධන දර්ශකයක්  සහිත සමෘද්ධිමත් රටක් ඇති කිරීමයි. අප රජයේ අරමුණු කරගත් ඉලක්කය මෙයයි. ඒ අනුව, මෙම වාර්තාව එළිදැක්වීම කාලෝචිතයි. මොකද ශ්‍රී ලංකාව සිටින්නේ කොතැනද යන්න වගේම නව රජයේ දැක්ම සහ ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා තවත් කුමක් කළ යුතුද යන්න පිළිබඳ මේ තුළින් අපට  අදහසක් ලබා ගත හැකියි“, යනුවෙන් පැවසීය.

    2018 සඳහා ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශක (HDI)අගය 0.780ක් වන අතර එමඟින් රට ඉහළ මානව සංවර්ධන කාණ්ඩයට ඇතුළත් වේ. ඒ අනුව රටවල් 189 ක් අතුරින් 71 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

    “පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ  යෝජනා අපි ඉදිරිපත් කලා. ඒ අනුව අසමානතාවය අවම කිරීම, දුප්පත්කම තුරන් කිරීම, ජනතාවගේ සෞඛ්‍යය හා ජීවන තත්වය දියුණු කිරීම, සුදුසු කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, සැමට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, පිරිසිදු පානීය ජලය සහ ලාභදායී බලශක්තිය විශ්වීයව ලබා දීම, හරිත කර්මාන්ත තුළින් තරුණ තරුණියන්ට රැකියා නියුක්තිය සහතික කිරීම, මානව වාසයට සුදුසු වන පරිදි නගර හරිතකරණය කිරීම, ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම, කාන්තාවන්ට සමාන හා වඩා හොඳ අවස්ථාවන් සහතික කිරීම, දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු විසඳීම සහ සාගර දූෂණය වැළැක්වීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම ,සාමය අගය කරන හා ප්‍රවර්ධනය කරන සමාජයක් ඇති කිරීම. ආදී තිරසාර සංවර්ධන අරමුණු 17 ක් ගැන සඳහන් කරනු ලැබුවා.“

    “ජනතාවගේ සහභාගීත්වයෙන් මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා අපි පැහැදිලි ප්‍රතිපත්තීන් වගේම ක්‍රියාකාරී වැඩපිළිවෙළකුත් මේ වන විට සකස් කර තිබෙනවා.“

    “තවදුරටත් අදහස් දක්වමින්,තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී, අප මුහුණ දෙන සංවර්ධන අභියෝග බොහෝ  සංකීර්ණ යි. දේශගුණික අර්බුද, අසමානතාවයන් නිසා ඇතිවන ගැටුම් වැනි තිරසාර මානව සංවර්ධනයට තර්ජනයක් වන සමාජ, ආර්ථික හා පාරිසරික කම්පනවලට අපි නිරන්තරයෙන් ගොදුරු වෙනවා. දේශගුණික ස්මාර්ට් කෘෂිකාර්මික ක්‍රමවේදයන් හඳුන්වා දීමෙන් පමණක් නියඟයෙන් පීඩා විඳින ගොවීන්ගේ ජීවනෝපාය පවත්වා ගත නොහැකියි. ගොවි පවුල්වලට පිරිසිදු පානීය ජලය, සෞඛ්‍ය පහසුකම් සහ විකල්ප ජීවනෝපාය මාර්ග ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග  අප ගත යුතුයි.“

    “අද අපට අවශ්‍ය වන්නේ තිරසාර මානව සංවර්ධනයක් ළඟා කර ගැනීම සහ අසමානතාවයන් අවම කිරීම සඳහා එකට වැඩ කිරීමයි“, අමාත්‍යවරයා රැස්ව සිටි පිරිස අමතමින් පැවසීය.

    මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබට් යුහ්කම්,නේවාසික සම්බන්ධිකාරිණී හනා සිංගර් යන මහත්ම මහත්මීන් විදේශ තනාපති නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.