• Ada Derana BIZ Sinhala
  • FTM TOP RESA
  • International and French Travel Market 2022
  • sri lanka

ශ්‍රී ලංකාව IFTM TOP RESA 2022 ප්‍රංශ සහ ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි

September, 28, 2022

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් 2022 සැප්තැම්බර් මස 20 සිට 22 දක්වා පැවති IFTM TOP RESA 2022 ප්‍රංශ සහ ජාත්‍යන්තර සංචාරක වෙළඳපොළ සඳහා ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සාර්ථකව සහභාගී විය.

ප්‍රංශය ශ්‍රී ලංකාවේ පස්වන විශාලතම මූලාශ්‍ර වෙළඳපොළ වන අතර පළමු මාස අටේ දී මුළු සංචාරක පැමිණීම් 28,235ක අගයක් ගෙන ඇත. IFTM යනු වඩාත් කීර්තිමත් සංචාරක ප්‍රදර්ශනවලින් එකක් වන අතර ලොව පුරා දහස් ගණනක සහභාගීවන්නන් ඇදබැඳ ගන්නා වෙළඳ ප්‍රදර්ශනයකි. IFTM TOP RESA 2022 වෙළඳ ප්‍රදර්ශනය සඳහා 200 කට ආසන්න රටවල් ප්‍රමාණයක්, වෙළඳ නාම 1,700 ක් සහ සංචාරක වෘත්තිකයන් 34,000 ක් සහභාගී විය.

SLAITO හි ධජය යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක ක්‍රියාකරුවන් වන අයිට්කෙන් ස්පෙන්ස් ට්‍රැවල්ස්, ඇන්ඩෲ ද ට්‍රැවල් සමාගම, ඕදෙන්ටිසිටීස් ශ්‍රී ලංකා, කොනිසන්ස් ඩී සෙයිලෑන්, ජෙට්වින්ග් ට්‍රැවල්ස්, ලයන් රෝයල් ටුවරිසම්, ලංකා ස්පෝට්‍රේසන්, වෝකර්ස් ටුවර්ස් සහ නිල ගුවන් සේවා සමාගම වන ශ්‍රී ලංකන් එයාලයින්ස් ශ්‍රී ලංකා වෙළඳ කුටිය නියෝජනය කළහ. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති සංචාරක උපදේශන ලිහිල් කර ඇති යුරෝපා සංගම් කලාපයේ බොහෝ රටවල් විශේෂයෙන් ප්‍රංශය සහ ස්පාඤ්ඤය ආදී රටවලට සමගාමීව ශ්‍රී ලංකාව මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වීම වැදගත් සහ කාලෝචිත ය. එබැවින් මෙම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා නියෝජනය ඉදිරි ශීත ඍතුවේ දී ශ්‍රී ලංකාව වෙත සංචාරකයින්ගේ පැමිණීම දිරිමත් කරයි.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය විසින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ප්‍රමුඛ පෙළේ සංචාරක ක්‍රියාකරුවන් සහ ප්‍රංශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා කුටිය නිල වශයෙන් විවෘත කරන ලදි. මෙම වෙළඳ කුටිය ශ්‍රී ලංකාව සියලු සංචාරකයින් පිළිගැනීමට සූදානමින් සිටින බවට වන පණිවිඩය ලබා දෙමින් ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ සංචාරක ක්‍රියාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය බ්ලොග්කරුවන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් අතර පුළුල් ප්‍රචාරණයක් ලබා දුන්නේය.