ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කාන්තා ව්‍යවසායිකාවන් සඳහා අපනයන වෙළඳපොළ වැඩසටහනක් සංවිධානය කරයි

    April, 1, 2022

    ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2022 මාර්තු 28 වන දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී අපනයන වෙළඳපොළ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

    EDB Women Cell හා නව අපනයනකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන්හි (NEDP) ලියාපදිංචි කාන්තා ව්‍යවසායිකාවන් දාහත් දෙනෙක් (17) මෙම වැඩසටහනට සහභාගී වූ අතර සහභාගිවූවෝ තම ව්‍යාපාර සැලසුම් සහ අලෙවිකරණ වැඩසටහන් පිළිබඳව මිනිත්තු තුනක පැහැදිලි කිරීමක් ස්වාධීන විනිසුරු මඩුල්ලක් වෙත ඉදිරිපත් කළහ. කාන්තා ව්‍යවසායිකාවන්ගේ අපනයන හැකියාවන් වර්ධනය කිරීම සහ ඔවුන් ගෝලීය වටිනාකම් දාමයට සම්බන්ධ කිරීමට පහසුකම් සැලසීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්විණි.

    උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය විදේශ විනිමය ඉපැයීමේ වටිනාකම අන් කවරදාකටත් වඩා වැඩියෙන් දැනෙන අවස්ථාවක මෙම උත්සවය සංවිධානය කිරීම පිළිබඳ අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ස්තුතිය පළ කළාය. මෙම අවස්ථාව අමතමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ මහත්මිය සඳහන් කළේ භාෂා ප්‍රවීණතාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන ක්ෂේත්‍රවල ප්‍රවීණතාවය මගින් අරමුණු සාක්ෂාත් කර ගැනීමට කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කළ යුතු බවයි.

    "සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙවර්ගයෙහි ම කාන්තා ව්‍යවසායිකාවන් අධ්‍යාපනයෙන්, සමාජීය වශයෙන් බලවත් වන අතර සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කරයි" යනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සංවර්ධන) සේපාලිකා ජයවර්ධන මහත්මිය වැඩසටහන අමතමින් ප්‍රකාශ කළාය.

    වැඩසටහනට සහභාගී වූ කාන්තා ව්‍යවසායිකාවන් දාහත් දෙනා අතරින් Shades IT Solutions, RHS Zone, Priyadi Nature Food Products, Nature Healing Ayur PVT LTD, Foreconns Canneries යන ආයතන පහ හොඳම අපනයනාභිමුඛ ව්‍යාපාරයන් ලෙස තෝරා ගැනුණු අතර එම ආයතන නියෝජනය කළ ව්‍යවසායිකාවන් සඳහා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරිණි. සියලුම තරගකාරියන්ට සහභාගීත්ව සහතික ප්‍රදානය කරන ලදී.

    කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය බී. නිශාන්ත, නිර්මාණ ඇකඩමියේ සාමාන්‍යාධිකාරී ඉෂාරා විජේමාන්න සහ ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ප්‍රේමසිරි ගමගේ යන මහත්ම මහත්මීන්ගෙන් මෙම විනිශ්චය මණ්ඩලය සමන්විත විය.