ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM Digi Awards 2018 සම්මාන උළෙල නිවේදනය කරයි

    January, 10, 2019

    ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සිය ප්‍රථම SLIM Digis 2018 ඩිජිටල් අලෙවිකරණ සම්මාන උළෙල පසුගියදා නිවේදනය කළේය. ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ කුසලතාපූර්ණ පිරිස් මෙන්ම ගෝලීය ඩිජිටල් කර්මාන්තය තුළ ආසියානු කලාපයේ බලපෑම ද ඇගයුමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.

     

    1970 වසරේ පටන් SLIM ආයතනය මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ එහි තත්ත්වය නගාසිටුවීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදී ඇත. එම ආයතනය 1980 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් ද නීතිගත කර ඇති අතර එය SLIM Nielsen Peoples Awards, Brand Excellence, Nasco සහ Effie Awards ආදී මෙරට කීර්තිමත් උළෙල රැසක සත්කාරකත්වය සහ ප්‍රධාන හවුල්කාරීත්වය දරයි.

     

    මෙම නව සම්මාන උළෙලේ වැදගත්කම පිළිබඳ අදහස් පළ කරමින් SLIM ආයතනයේ සභාපති ප්‍රදීප් එඩ්වර්ඩ් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම ආයතනය ලෙස තමන් අලෙවිකරණය සමාගම් සහ ආයතනවල ප්‍රමුඛ දැක්ම සහ ව්‍යාපාරික ක්‍රියාවලිය බවට පත්කිරීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරන බවය. "තරගකාරීත්වය, ලාභය සහ තිරසර හුවමාරු ක්‍රමවේදය හරහා සිය පාරිභෝගිකයන් හට වැඩි වටිනාකමක් නිර්මාණය කිරීම එහි අරමුණයි. ලෝකය ඩිජිටල් යුගයකට එළඹ ඇති බැවින් සෑම ව්‍යාපාරයකට ම ඩිජිටල් අලෙවිකරණය අතිශය වැදගත් වනවා. එමෙන්ම මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ ඉතා වටිනා අදහස් මෙන්ම දක්ෂතා දක්වන පිරිසක් ද අපට දැකගත හැකියි. එබැවින්, මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ කුසලතාපූර්ණ පිරිස් ඇගයුමට ලක්කිරීම සඳහා SLIM Digis Awards 2018 සම්මාන උළෙල සංවිධානය කිරීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා"

     

    SLIM Digis ව්‍යාපෘති ප්‍රධානී නුවන් ගමගේ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය තවදුරටත් උනන්දු කරලීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කළ බවය. රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශාල ඉඩක් පවතිනවා. එබැවින් අප සම්මාන ප්‍රදානය සඳහා කාණ්ඩ තෝරා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ ප්‍රගතිය පිළිබිඹු වන ආකාරයට බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    ප්‍රමුඛ පෙළේ සේවාදායක අලෙවිකරුවන්, ඩිජිටල් වෘත්තිකයන්, ආයතන ක්‍රමෝපාය සැලසුම්කරුවන් සහ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන විනිශ්චය මඬුල්ලක් විසින් සම්මාන විනිශ්චය සිදු කරනු ලබන බව SLIM ව්‍යාපෘති අංශයේ උප සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

     

    සම්මාන උළෙලට පෙර SLIM ආයතනය SLIM Digi Fest යනුවෙන් ඩිජිටල් අලෙවිකරණ උළෙලක් ද සංවිධානය කරයි. පාරිභෝගික අත්දැකීම සහ අගය දාම නවීකරණය සඳහා යොදාගත හැකි ඩිජිටල් සේවා, මෙවලම් සහ ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව මෙහිදී සමාගම්වලට හිමිවේ. ඕනෑම ඩිජිටල් සේවා ආයතනයකට B2C හෝ B2B ඩිජිටල් සේවාවක් සඳහා සහයෝගී නිෂ්පාදන සහ සේවා මෙහිදී ප්‍රදර්ශනය කළ හැකිය. තවද, ඩිජිටල් අලෙවිකරණය සම්බන්ධ අංශ ඔස්සේ ඩිජිටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සාකච්ඡාවක් ද මෙම උළෙලට සමගාමීව සංවිධානය කෙරේ.

     

    ශ්‍රී ලංකාවේ සියලු ම ඩිජිටල් සහ නිර්මාණ ආයතන සඳහා සම්මාන උළෙල විවෘත වන අතර සන්නාමය සහ සේවාලාභී ආයතනය යන දෙකම සඳහා සම්මාන ප්‍රදානය කෙරේ. සංදර්භය, අභියෝගය, ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණු, ඉලක්ක පාරිභෝගික පිරිස, අදහස සහ ක්‍රමෝපාය, නවෝත්පාදනය සහ නිර්මාණශීලි බව, ක්‍රියාත්මක කිරීම සහ ප්‍රවර්ධන වැඩසටහනේ බලපෑම යන නිර්ණායක යටතේ අයදුම්පත් ඇගයුමට ලක් කෙරේ.

     

    සම්මාන උළෙලේ ප්‍රධානත ම සම්මානය "විශිෂ්ටත ම ඩිජිටල් අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන" සඳහා පිරිනැමෙන අතර, ඒ සඳහා බැංකුකරණ, මුල්‍ය හා රක්ෂණ, විදුලි සංදේශන/තොරතුරු තාක්ෂණ/අන්තර්ජාල සහ මෘදුකාංග, විනෝදාස්වාද, සත්කාරක, සංචාරක සහ ගමන්, අධ්‍යාපන හා පුහුණු සේවා, සෞඛ්‍ය සේවා/සුවතා, රෝහල්, ඉදිකිරීම් හා දේපළ වෙළඳාම්, පාරිභෝගික (විලාසිතා/පාරිභෝගික විදුලි උපාංග)-අන්තර්ජාල හා අන්තර්ජාල නොවන, මාධ්‍ය සහ ප්‍රකාශන, ආහාර/පාන, අලංකරණ/පුද්ගලික සත්කාර/ගෘහ සත්කාර, ආයතනික ප්‍රතිරූපය/ප්‍රජා සත්කාරක සහ සුළු හා මධ්‍ය පරිමාණ ඩිජිටල් අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන් ආදී පුළුල් පරාසයක විහිදුනු කාණ්ඩ රැසක් ඔස්සේ එය ඇගයුමට ලක් කෙරේ.

     

    තවද, "විශිෂ්ටත ම සන්නාමිත අන්තර්ගත භාවිතය", "විශිෂ්ටත ම ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනය", "විශිෂ්ටත ම අලෙවිකරණය සඳහා ජංගම දුරකථන භාවිතය" සහ "ඩිජිටල් අලෙවිකරණ ග්‍රෝන් ප්‍රී" ආදී විශේෂිත සම්මාන ද SLIM Digis සම්මාන උළෙලේදී පිරිනැමේ. මෙම සම්මාන විශිෂ්ටත ම ඒකාබද්ධ ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන් කාණ්ඩය යටතේ තෝරාගැනේ. සේවාලාභී සමාගමට මෙන්ම නිර්මාණ ආයතනයට ද රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමේ. තරගකරුවන් ලැයිස්තුගත කිරීමේ මූලික වටය සහ ජයග්‍රාහකයන් තෝරා ගැනීමේ අවසන් වටය ලෙස වට දෙකකින් විනිශ්චය සිදු කිරීමට නියමිතය.

     

    ශ්‍රී ලාංකේය ඩිජිටල් කර්මාන්තය සන්නාම බොහොමයක ඉදිරි ගමන තීරණය කරන සාධකයක් බවට පත්ව ඇත. කීර්තිමත් අලෙවිකරණ සහ ඩිජිටල් අලෙවිකරණ වෘත්තිකයන් විසින් ජාත්‍යන්තර මට්ටමින් විනිශ්චය කරනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ නිරත පිරිසගේ විශිෂ්ට හැකියාවන් ඇගයුමට ලක්කිරීම ඉලක්ක කර ගනිමින් දියත් කෙරේ. සියලු සන්නාම භාරකරුවන්, නිර්මාණ, දැන්වීම් සහ ඩිජිටල් ආයතන වලට මෙම සම්මාන උළෙල සමග සම්බන්ධ වන ලෙස SLIM ආයතනය ආරාධනා කර සිටී. ජනවාරි මස 8 වනදා සිට පෙබරවාරි මස 11 වනදා දක්වා මේ සඳහා අයදුම්පත් බාර ගැනේ. පළමු අවසන් දිනය ජනවාරි මස 28 වනදා වන අතර දෙවන අවසන් දිනය පෙබරවාරි 11 වනදා වේ. පෙබරවාරි මස 28 වනදා දක්වා යොමු කෙරෙන එක් එක් අයදුම්පත්‍රය සඳහා රු. 10,000 ක් ද පෙබරවාරි මස 28 වනදායින් පසුව යොමු කෙරෙන අයදුම්පත් සඳහා රු. 12,000ක් ද අය කෙරේ.