ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය, දේශීය ඖෂධ නිෂ්පාදනයේ 65 වසරක අභිමානය සමරයි

    February, 18, 2021

    වර්ෂ 2025දී මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් සැපයීමටත්, වර්ෂ 2030 වනවිට ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ඉපැයීමටත් සහතික වෙයි.

    ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයට වසර 65ක් පිරීම නිමිත්තෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, කර්මාන්තයේ ප්‍රගතිය පිළිබඳව ද කරුණු රැසක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය පියවර ගෙන තිබේ.

    වර්ෂ 1956දී එක් කර්මාන්තශාලාවකින් ආරම්භ වුණු දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය හා සම්බන්ධ ප්‍රධානම පෞද්ගලික ඖෂධ නිෂ්පාදන ආයතන මෙම සංගමයේ සාමාජිකත්වය දරයි. මෙම සාමාජික සමාගම් 10ක් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ ඖෂධ මිලදී ගැනීමේ ගිවිසුම් සඳහා එළඹ සිටින අතර වර්තමානයේදී රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයන්හි ඖෂධ අවශ්‍යතාවයෙන් 24%ක් සම්පූර්ණ කිරීමට ඒ හරහා හැකිවී තිබේ. එමගින් වාර්ෂිකව රට තුළ ඉතිරි වන විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 30ක් පමණ වන බව ද ගණන් බලා තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ අත්සන් කර ඇති මෙම ගිවිසුම් ප්‍රකාරව, දේශීය ඖෂධ නිෂ්පාදකයෝ මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 88ක් නිෂ්පාදනය කිරීමේ නිරතව සිටිති. 2014 වසරේදී එම ගිවිසුම ඇති කරගනු ලැබුවේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය යටතේ සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යංශවල සහයෝගීතාවයෙනි. ඒ හරහා දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 10%ක් සම්පූර්ණ කරගැනීම මූලිකව අරමුණු කෙරිණි. මෙම සමාගම් 10 හරහා වාර්ෂිකව අපනයනය කෙරෙන ඖෂධවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 10කි. ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ඉලක්කය වී ඇත්තේ වර්ෂ 2025 වනවිට දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් සපුරාලීම ය. ඒ යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 300කට අධික ප්‍රමාණයක් දේශීයව නිපදවීමටත්, වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදෙස් විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව රට තුළ ඉතිරි කරගැනීමටත් අපේක්ෂිත ය. ඊට අමතරව එම කාලය තුළ සෑම වසරකම ඩොලර් මිලියන 100ක විදෙස් විනිමය ප්‍රමාණයක් ඖෂධ අපනයනය හරහා රටට උපයා දීමටත්, 2030 වසර වනවිට එම ප්‍රමාණය වාර්ෂිකව ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමටත් සංගමය බලාපොරොත්තු වේ.

    මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධ වූ පළමු “රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතා වැඩසටහන” ලෙස මෙම ගිවිසුම විශේෂත්වයක් උසුලයි. එම ගිවිසුමට වසර හයක් ගත වනවිට එමගින් රටට ලැබී ඇති ප්‍රතිලාභ රැසකි. විශේෂයෙන්ම දේශීය ඖෂධ නිෂ්පාදකයින්ට පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය තුලින් නව ඖෂධ නිපදවීමට මෙම ගිවිසුම හරහා ලැබී ඇත්තේ විශාල පිටුබලයකි. මෙම ගිවිසුම යටතේ නිෂ්පාදනය කෙරෙන ඖෂධවලට, ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘යහපත් නිපැයුම් සහතිකය’ (GMP)  හිමිවී ඇති අතර, ඇතැම් කර්මාන්තශාලා මේ වනවිට යුරෝපීය ‘යහපත් නිපැයුම් පරිචයන්’ (EU GMP) සහතිකය ලබාගැනීම සඳහා ද යොමු වී සිටී. ඒ හරහා ඉදිරියේදී යුරෝපීය වෙළෙඳපොළ වෙත ද පිවිසීමට එම නිෂ්පාදනවලට ඉඩකඩ හිමිවනු ඇත.

    “දේශීය ඖෂධ නිෂ්පාදකයින් ලෙස වසර 65ක් පුරාවට රටට ලබාදුන් සේවාව පිළිබඳ ආඩම්බර වන අතරේ, අපි ඉදිරියටත් අත්‍යවශ්‍ය ඖෂධ සපයමින්, විදෙස් විනිමය ඉතිරි කරගැනීමට කැපවී කටයුතු කරනවා. එහිදී මූලිකවම දේශීය ඖෂධ අවශ්‍යතාව සපුරාලීම ඉතාමත් වැදගත්. ඒ සඳහා මාවත සකසා දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දේශීය නිෂ්පාදකයින්ගේ ඖෂධ මිලදී ගැනීමේ ගිවිසුම් ආරම්භ කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අපගේ ප්‍රණාමය හිමිවෙනවා. ඒත් සමඟ පෞද්ගලික අංශයට අයත් අති නවීන කර්මාන්තශාලා පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 20කට ආසන්න දැවැන්ත ආයෝජනයක් සමඟ, සාධාරණ මිලකට උසස් තත්ත්වයේ ඖෂධ ලබාදීම සඳහා රජයට සහාය වීමටත් අපි බලාපොරොත්තු වෙනවා. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් විශාල ශක්තියක් වනු නොඅනුමානයි“, යනුවෙන් ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සංජය ජයරත්න මහතා පැවසීය.

    මෙම සංගමයේ සාමාජික සමාගම් හරහා ඍජු රැකියා අවස්ථා 3,000ක් නිර්මාණය කර ඇති අතර, වක්‍ර රැකියාලාභීන් සංඛ්‍යාව 20,000කට අධික ය. මේ වනවිට සංගමයේ ප්‍රමුඛ අවධානය යොමුව ඇත්තේ, නිෂ්පාදන ධාරිතාව නංවමින්, දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය තම ඉලක්ක කරා මෙහෙයවීමත්, එමගින් රටේ ආර්ථිකය ඉහළ නැංවීමට දායක වීමත් කෙරෙහි ය. දේශීය නිෂ්පාදනය නැංවීමේ රජයේ දැක්ම අනුව යමින්, වර්ෂ 2025-2030 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම විදෙස් විනිමය ඉපැයුම් මාර්ගය බවට දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය පත්වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

    “වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාත් දේශීය ඖෂධ නිෂ්පාදන කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබාදෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සෞභාගයේ දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා අපට රාජ්‍ය ඇමතිවරයා ලෙස ඔහු ලබාදෙන මාර්ගෝපදේශකත්වයට හා ප්‍රතිපත්තිමය සහායට අපි බෙහෙවින් කෘතවේදී වෙනවා”, යනුවෙන් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙසේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දේශීයව නිපදවීමේදී ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම, නිෂ්පාදන ප්‍රමිතීන්, දේශීය මානව සම්පත ප්‍රමිතිගත ඖෂධ නිෂ්පාදනයට පුහුණු කරවීම, තත්ත්ව පාලන දැනුම ලබාගැනීම ආදිය සඳහා අන්තර්ජාතික ඖෂධ නිෂ්පාදන සමාගම් රැසක් සමඟ දිගු කාලීන සබඳතා ගොඩනඟා ගැනීමට ද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය කටයුතු කර තිබේ. ඖෂධ පෙති වර්ග, කරල්, දියර ඖෂධ, ඩ්‍රයි පවුඩර් සස්පෙන්ෂන්ස්, ඩ්‍රයි පවුඩර් ඉන්හේලර් කැප්සියුල්, මාත්‍රාව මැන බැලිය හැකි ඉන්හේලර්, නේසල් ස්ප්‍රේ, කැප්සියුල තුළට ඇතුළු කරන පෙලට්ස්, ආලේපන වර්ග, සහ ඩ්‍රයි පවුඩර් ඉන්ජෙක්ටබල් ආදී විවිධ ඖෂධ වර්ග නිපදවීමේදී මෙම අන්තර්ජාතික සබඳතා ද මහත් සේ ප්‍රයෝජනවත් වී ඇත. විශේෂයෙන්ම කැප්සියුල තුළට ඇතුළු කරන පෙලට්ස්, සෙෆලෙක්සින් කැප්සියුල්, සෙෆලෙක්සින් ඩ්‍රයි පවුඩර් සස්පෙන්ෂන් බෝතල් සහ ආඝ්‍රාණය කිරීමට ගන්නා මාත්‍රාව මැනිය හැකි ඩ්‍රයි පවුඩර් කැප්සියුල් ආදිය ඒවාටම වෙන් වූ කර්මාන්තශාලාවල නිෂ්පාදනය කෙරේ.