ශ්‍රී ලංකා කාම්බෝජියානු ව්‍යාපාරික හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්

    August, 8, 2019

    කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ශ්‍රී ලංකා සහ කාම්බෝජියානු ව්‍යාපාරිකයින්ගේ හමුවක් ඊයේ (07) Phnom Penh  නගරයේ දී පැවැත්විණි.

    මෙම අවස්ථාව සඳහා කාම්බෝජියානු අග්‍රාමාත්‍යSamdech Akka Moha Sena Pakdei Techo HUN SEN  මහතා ද එක්ව සිටියේය.

    ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වෙළෙඳ සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමට එහිදී පුඑල් අවධානයක් යොමු වූ අතර දියුණු වෙමින් පවතින රටවල් ලෙස ආර්ථික සහ වෙළෙඳ කටයුතු වල දී එක්ව කටයුතු කිරීමටත්, ඇගඑම්, මැණික් කර්මාන්ත වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දෙරට අතර පවතින සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

    මෙම සමුඑව අමතා කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් සිදුකළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එම සමුඑව අමතනු ලැබීය.

    කාම්බෝජයේ වානිජ මණ්ඩල සභාපති Neak Okhna Kith Meng  මහතා සහ ශ්‍රී ලංකා කොළඹ වානිජ මණ්ඩලයේ සභාපති සාරංග විජේරත්න මහතා ඇතුඑ දෙරටේ ව්‍යාපාරිකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.