ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය – 2016 නොවැම්බර්

    December, 16, 2016

    නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 නොවැම්බර් මාසයේ දී 58.4 ක දර්ශක අගයයක් වාර්තා කරන ලදී. මෙය 2016 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව දර්ශක අගයයන් 1.9 කින් ඉහළ යාමකි. මේ සඳහා, සේවා නියුක්තිය සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ ඉහළ වර්ධනය බෙහෙවින් දායක විය. .වද නව ඇණවුම් උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ යන ලදී. මේ අතර එළඹෙන උත්සව සමය සඳහා රැස්කරගත් තොග භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගැනුම් තොග උප දර්ශකය නොවැම්බර් මාසයේ දී පහත වැටුණු අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන උප දර්ශකය ඉහළ යන ලදී. කෙසේ වුවද සියලූම උප දර්ශක කඩයිම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. තවද ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ඔක්තෝබර් මාසයේ දී වාර්තා කළ 59.3 ක දර්ශක අගයක සිට නොවැම්බර් මාසයේ දී 59.7 ක දර්ශක අගයක් දක්වා ඉහළ යන ලදී. ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සිදු වූ මෙම ඉහළ යෑමෙන් 2016 නොවැම්බර් මාසයේ දී සේවා අංශයෙහි ආර්ථික ක්‍රියාකාරකම් පසුගිය මාසයට සාපේක්ෂව අඛණ්ඩව වර්ධනය වූ බව පෙන්නුම් කරයි. සේවා නියුක්තිය සහ අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උප දර්ශකවල සිදු වූ වර්ධනයන් හේතුකොට ගෙන සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යන ලදී. නව ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම් උප දර්ශක පසුගිය මාසය හා සැසඳීමේ දී 2016 නොවැම්බර් මාසයේ දී අඩු වේගයකින් වර්ධනය විය. එනමුත් නිම කිරීමට ඇති කාර්යයන් 2016 ඔක්තෝබර් මාසයට වඩා අඩු වේගයකින් නොවැම්බර් මාසයේ දී පහළ යන ලදී. අය කරන මිල ගණන් (ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ගණනය කිරීමේ දී සලකා නොබලපන) 2016 නොවැම්බර් මාසයේ දී වැඩි වේගයකින් ඉහළ යන ලදී.