ශ්‍රී ලංකා ටෙලිකොම් “SLT SpeedUp” පාපැදි සවාරිය – 2018 ජයග්‍රාහකයින් මෙන්න

    September, 11, 2018

    සමස්ත පිරිමි ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිහාන් පුෂ්පකුමාරට

    පිරිමි සවාරියේ දක්‍ෂතම කණ්ඩායම ශ්‍රී ලංකා වරාය අධිකාරිය

    ගුවන් හමුදාවේ දිනේෂා දිල්රුක්‍ෂි කාන්තා ශූරතාව රැගෙන යයි

    පැරා ශූරතාව ජී.පී.ටී.ආර්. කුමාර හිමිකර ගනියි

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ තෙවැනි වරටත් සංවිධානය කළ “SLT SpeedUp” පාපැදි සවාරියේ ප්‍රධාන ඉසව්ව වූ පිරිමි තරගයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ගිහාන් පුෂ්පකුමාර සමත් විය. තරගය අවසන් කිරීම සඳහා ගිහාන් පැය. 20.07.07ක කාලයක් වාර්තා කළේය.

    අදියර පහකින් සමන්විත වූ මෙම සවාරිය අඟහරුවාදා (04දා) කොළඹින් ආරම්භ වූ අතර, එය නිදහස් ගමන් මාර්ගද සහිතව කි.මී. 821ක දුරක් ගෙවමින් පසුගිය සෙනසුරාදා (08දා) කුලියාපිටියෙන් අවසන් විය.

    මෙහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ මධුසංක ප්‍රභාත් විසින් දිනාගනු ලැබීය. වයස 23න් පහළ ක්‍රීඩකයෙකු වන ප්‍රභාත්, අදියර පහ අවසන් කිරීම සඳහා පැය 20.07.35ක කාලයක් වාර්තා වාර්තා කළේය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කළ රමේෂ් විරාන් මෙහි තෙවැනි ස්ථානයට පත්වූ අතර, ඔහුට සවාරිය අවසන් කිරීම සඳහා පැය. 20.07.38ක කාලයක් ගතවිය.

    මෙවර සවාරියේ දක්‍ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්මාන දිනා ගත්තේය. ඊට අමතරව කඳු නැගීමේ ශූරයා ලෙස රමේෂ් විරාන් (වරාය අධිකාරිය), වේගවත්ම ධාවකයා ලෙස අවිශ්ක මැඩොන්සා (වරාය අධිකාරිය) හා යොවුන් පාපැදි ශූරයා ලෙස මධුසංක ප්‍රභාත් (නාවික හමුදාව) සම්මානයන්ට පාත්‍ර වූහ.

    දකුණ, සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද හා වයඹ ලෙස පළාත් පහක් කේන්ද්‍ර කර ගනිමින් දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි මෙම සවාරිය පැවැත්විණි. එහි පළමු අදියර කොළඹ සිට මාතර (සැප්. 04/කි.මී. 159.5) දක්වාත්, දෙවැනි අදියර මාතර සිට බලන්ගොඩ (සැප්. 05/ කි.මී. 161.4) දක්වාත්, තෙවැනි අදියර බලන්ගොඩ සිට මහියංගනය (සැප්. 06/ කි.මී. 130.8) දක්වාත් පැවැත්විණි. සිවුවැනි අදියරේ පළමු අර්ධය බලන්ගොඩ සිට දඹුල්ල (සැප්. 07 කි.මී. 140.7) දක්වාද, එදිනම දෙවැනි අර්ධය දඹුල්ලේ සිට අනුරාධපුරය (කි.මී. 64.7) දක්වාද පැවැත්විණි. අවසන් අදියර අනුරාධපුර සිට කුලියාපිටිය (සැප්. 08/ කි.මී. 140.8) දක්වා පැවැත්විණි.

    තරගකරුවන් 122 දෙනෙකු මෙවර සවාරියට සහභාගි වූ අතර, ඔවුහු ගුවන් හමුදාව, නාවික හමුදාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව, වරාය අධිකාරිය, පොලීසිය, යුද හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, යන් වීල්, වින්ගෙඩ් වීල්, ද ෆ්‍රෙන්ඩ්ස්, සුපර් වීලර්ස්, සුපර් බේරු, ස්ටෙෆනලි පිලිප්පෝ යනාදී ක්‍රීඩා සමාජ නියෝජනය කළහ.

    මෙහි සමස්ත ශූරයාට රු. 1,000,000ක (මිලියනයක) ත්‍යාග මුදලක් හිමි විය. එහි දෙවැනි ස්ථානයට රු. 500,000ක් හා තෙවැනි ස්ථානයට රු. 300,000ක මුදලක් හිමි විය. සෙසු ස්ථාන පිළිවෙළින් රු. 200,000ක් (4), රු. 150,000ක් (5), රු. 125,000ක් (6), රු. 100,000ක් (7), රු. 80,000ක් (8), රු. 70,000ක් (9), රු. 60,000ක් (10) හිමි විය. 10 වැනි ස්ථානයේ සිට 15 වැනි දක්වා රු. 40,000ක මුදල් ත්‍යාග පිරිනැමිණි.

    අදියර දෙකකින් පැවැති මෙහි කාන්තා සවාරියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනේෂා දිල්රුක්‍ෂි සමත් වූවාය. එහි දෙවැනි හා තෙවැනි ස්ථානයන්ද ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සතු වූහ. ඒ අනුව පිළිවෙළින් සුගන්ධිකා ප්‍රියදර්ශනී හා පංචාලි සුලෝචනා එම ජයග්‍රහණයන්ට හිමිකම් කියූහ.

    මෙම සවාරිය සැප්තැම්බර් 07 හා 08 දෙදින තුළ කොළඹ සිට කෑගල්ල, කෑගල්ල සිට කුලියාපිටිය දක්වා කි.මී. 175ක දුරක් ආවරණය කරමින් පැවැත්විණි. මෙය සැලකෙනුයේ මෙරට පාපැදි ඉතිහාසයේ කාන්තා තරගයක් දෙදිනක් පුරා පැවැති ප්‍රථම අවස්ථාව ලෙසය. මෙහි සමස්ත ශූරියට රු. 250,000ක මුදලක් හිමි විය. එහි පළමු හා දෙවැනි ස්ථාන සඳහා රු. 200,000ක් හා රු. 125,000ක් හිමි විය.

    මෙම සවාරියට පළමු වරට හඳුන්වා දුන් පිරිමි පැරා අංශයේ ශූරතාව දිනා ගැනීමට ජී.පී.අයි.ආර්. කුමාර සමත් විය. එහි දෙවැනි ස්ථානය ඒ.එම්.පී.කේ. අත්තනායක විසින්ද, තෙවැනි ස්ථානය උදය කුමාර ජයලත් විසින්ද දිනාගනු ලැබීය. මෙම තරග ඉසව්ව සෙනසුරාදා (08දා) පැවැති අතර, එය කුරුණෑගල සිට කුලියාපිටිය දක්වා ප්‍රමාණය කි.මී. 75ක දුරකින් පැවැත්විණි. මෙහි ප්‍රථම ස්ථානයට රු. 150,000ක මුදලක් හා දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා රු. 100,000ක් හා රු. 75,000 ලෙස හිමි විය.

    පිරිමි සවාරියේ (ප්‍රධාන ඉසව්ව) ප්‍රතිඵල

    1 ගිහාන් පුෂ්පකුමාර (යුද හමුදාව/ පැය. 20.07.07)

    2 මධුසංක ප්‍රභාත් (නාවික හමුදාව/ පැය. 20.07.35)

    3 රමේෂ් විරාන් (යුද හමුදාව / පැය. 20.07.38)

    4 නිදුෂ් නිලංග (වරාය අධිකාරිය/ පැය. 20.09.10)

    5 ජනක හේමන්ත (නාවික හමුදාව/ පැය. 20.09.10)

    6 සුදීර නිලංග (පොලීසිය/ පැය. 20.09.36)

    1. දර්ශන ප්‍රසාද් (නාවික හමුදාව / පැය. 20.09.41)

    8 ඩේන් නුගේරා (ගුවන් හමුදාව / පැය 20.09.47)

    9 බණ්ඩාර ප්‍රේමරත්න (ගුවන් හමුදාව/ පැය. 20.10.03)

    10 තුෂාන් රාජපක්‍ෂ (යුද හමුදාව/ පැය. 20.10.30)

    11 පත්ම කුමාර (දෙහිවල ගල්කිස්ස ම.න.ස/ පැය. 20.10.53)

    12 උදය කුමාර (ස්ටෙෆනලි පිලිප්පො/ පැය. 20.11.13)

    13 අවිශ්ක මැඩොන්සා (වරාය අධිකාරිය/ පැය. 20.11.46)

    14 ගයාන් කුමාර (යුද හමුදාව/ පැය. 20.16.49)

    15 නිහාල් සිල්වා (නාවික හමුදාව/ පැය. 20.17.32)