November, 8, 2021
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික වෙළඳාම වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවක් 2021 නොවැම්බර් 3 වන දින අපනයන සංවර්ධන මණ්ඩලයේ දී වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md Ariful Islam මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
බංග්ලාදේශයට අපනයනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා අතර මෙම හමුවේදී සාකච්ඡාවට ලක් විය. තේ, රූපලාවන්‍ය සහ පුද්ගලික සත්කාර නිෂ්පාදන, නිමි ඇදුම් කර්මාන්තය සඳහා යෙදවුම් නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, වියන ලද රෙදිපිළි, රසායනික නිෂ්පාදන, ටයර් ඇතුළු රබර් ආශ්‍රිත නිෂ්පාදන නියෝජනය කරමින් සමාගම් 30ක් පමණ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සාකච්ඡාවේ දී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ මේ වනවිට වෙළද අමාත්‍යංශය, වාණිජ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රේඛීය ආයතන සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජිත බංග්ලාදේශ - ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (BS-SL PTA) සඳහා කටයුතු කරමින් සිටින බවයි. බංග්ලාදේශ මහ කොමසාරිස්තුමා අදහස් දක්වමින් දෙරට අතර වෙළදාම ආයෝජන සහ භාණ්ඩ ප්‍රවාහන සේවයන් දියුණු කිරීමේ වැදගත්කම පෙන්වාදෙන ලදි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් සඳහන් කළේ මෙම රැස්වීම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට ඔවුන්ගේ අදහස් මහ කොමසාරිස්තුමා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ බෙදා ගැනීමට සහ සාකච්ඡා කිරීමට වේදිකාවක් සපයන බවයි.
ශ්‍රී ලංකාව බංග්ලාදේශයට අපනයනය කරන ප්‍රධාන නිෂ්පාදන වන්නේ විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, වියන ලද රෙදි, පෙට්‍රෝලියම් තෙල්, පෙට්‍රෝලියම් වායු, නිමිඇදුම් සඳහා යෙදවුම් නිෂ්පාදන, ප්ලාස්ටික් නිෂ්පාදන, බෝල්ට්, ලෝහ සහ කඩදාසි නිෂ්පාදනයන්ය. බංග්ලාදේශය 2020 දී ශ්‍රී ලංකාවේ 21 වන අපනයන ගමනාන්තය වූ අතර එහි වටිනාකම ඩොලර් මිලියන 153.44 කි.
බොහෝ අපනයනකරුවන් තම නිෂ්පාදන අපනයනයට හා ආයෝජන කටයුතු සඳහා බංගලාදේශ වෙළඳපලෙහි ඇති වැදගත්කම පෙන්වා දුන් අතර එහිදී තමන් මුහුණදෙන ගැටලු පිළිබද වෙළඳ අමාත්‍යවරයා මහ කොමසාරිස්තුමා ඇතුළු අනෙකුත් නිලධාරීන් දැනුවත් කරන ලදි. ඒ අතර ලංකාවේ සිදු කරන අපනයන භාණ්ඩ සඳහා ඇති ඉහළ බදු අනුපාත, වීසා ලබාගැනීමේ දී පැනනගින ගැටලු, ප්‍රමාණවත් භාණ්ඩ හා මගී ප්‍රවාහන නෞකා නොමැති වීම හා ගුවන් සේවාවල ඇති ගැටලු පිළිබඳව පෙන්වා දෙන ලදි.
බංග්ලාදේශයට වීසා ලබාගැනීම සඳහා ඇති පහසුකම් ගැන මෙහි දී අවධානය යොමු කළ අතර යෝජිත බංග්ලාදේශ - ශ්‍රී ලංකා වරණීය වෙළද ගිවිසුම් සඳහා අපනයනකරුවන්ගේ බදු සහන සඳහා වන ඉල්ලීම් යොමුකර ඇති බව ද දැනුම්දෙන ලදි.
වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා, අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මෙනවිය, බංග්ලාදේශයේ දේශපාලන උපදේශක Md. Reyad Hossain මහතා, වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, අපනයනකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
Video Story