September, 16, 2026
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද සිය ප්‍රථම විදේශ සංචිත කළමනාකරණ සමුළුව 2026 සැප්තැම්බර් 10 සහ 11 යන දෙදින තුළ දී කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්විණි. ප්‍රමුඛ පෙළේ මහ බැංකු නියෝජිතයින්, ස්වෛරිීත්ව වත්කම් කළමනාකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ ආයෝජන ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම සමුළුවේ දී නිල විදේශ සංචිත කළමනාකරණය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග සහ අවස්ථා පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කෙරිණි. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (Asia Infrastructure Investment Bank), ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank), ප්‍රංශ මහ බැංකුව (Banque De France), අන්තර්ජාතික පියවීම් බැංකුව (Bank for International Settlements), ඉන්දුනීසියානු මහ බැංකුව (Bank Indonesia), මැලේසියානු මහ බැංකුව (Bank Negara Malaysia), කොරියානු මහ බැංකුව (Bank of Korea), තායිලන්ත මහ බැංකුව (Bank of Thailand), අන්තර්-ඇමරිකානු සංවර්ධන බැංකුව (Inter-American Development Bank), ඉන්දියානු සංචිත බැංකුව (Reserve Bank of India), ස්විට්සර්ලන්ත ජාතික බැංකුව (Swiss National Bank), ලෝක බැංකුව (World Bank) සහ ලෝක රන් කවුන්සිලය (World Gold Council) ඇතුළු ආයතන නියෝජනය කරමින් 50දෙනෙක් පමණ සමුළුව සඳහා සහභාගී වූහ.
මෙම සමුළුවේ දී සංචිත කළමනාකරණය කෙරෙහි බලපෑ හැකි ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය. විදේශ සංචිත ස්වාරක්ෂක ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම සඳහා වන උපායමාර්ග, භූ දේශපාලනික බෙදීම් ආසියාවට සහ ගෝලීය ආර්ථිකයට ඇති කරන බලපෑම්, නිල සංචිත තුළ ඩිජිටල් සහ ටෝකනීකරණය (tokenised) කළ වත්කම්වලට ඉටු කළ හැකි කාර්යභාරය, මුදල් ඒකකවල බලපෑම සහ ජාත්‍යන්තර සංචිත කළඹ තුළ එ.ජ.ඩොලරයේ අඛණ්ඩ ආධිපත්‍යය මෙන්ම රන් සහ අනෙකුත් විකල්ප වත්කම්වල කාර්යභාරය මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු විය. තවද, ආයෝජන තීරණ ගැනීම, වෙළෙඳපොළ තොරතුරු විශ්ලේෂණය, ආයෝජන කළඹ ප්‍රශස්තකරණය සහ අවදානම් කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා තාක්ෂණික නවෝත්පාදන සහ කෘත්‍රිම බුද්ධිය සංචිත කළමනාකරණයට යොදාගත හැකි ආකාරය පිළිබඳව ද විමර්ශනයට ලක් කෙරිණි.

Video Story