ශ්‍රී ලංකා මහ බැංකුව රජරට සහ වයඹ ජනතාව හමුවෙයි

    September, 19, 2018

    පාසල් සිසු සිසුවියන් ඇතුළු රජරට හා වයඹ ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සැපයෙන සේවාවන් පහසුවෙන් ලබා දීම සඳහාත්, එම සේවාවන් පිළිබඳ ව ඔවුන් දැනුම්වත් කිරීම උදෙසාත් පැවැත්වෙන 'මහ බැංකුව ඔබ හමුවට...' විවෘත දිනය 2018 සැප්තැම්බර් 21 සහ 22 දිනවල දී අනුරාධපුර ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයේ දී සහ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී (සල්ගාදු ක්‍රීඩාංගනයේ දී) පැවැත්වේ.

    පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී මහජනතාවට තම අර්ථසාධක අරමුදල පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය පිළිබඳ තොරතුරු ලබා ගැනීම කළ හැකි ය. ඊට අමතර ව කාසි හා නෝට්ටු හුවමාරුව ද සිදු කෙරේ.

    වර්තමාන මූල්‍ය පරිසරය පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් සම්මන්ත්‍රණ හා වැඩමුළු කිහිපයක් ද එහි දී පැවැත්වේ. මුදල් සුරක්ෂිත ලෙස ආයෝජනය කරන්නේ කෙ සේ ද?, ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්නේ කෙ සේ ද?, විදේශ විනිමය ගනුදෙනු, මූල්‍ය සාක්ෂරතාව සහ ණය තොරතුරු කාර්යාංශයේ සේවාවන් පිළිබඳ ව එම සම්මන්ත්‍රණ සහ වැඩමුළුවල දී පැහැදිලි කෙරෙනු ඇත. ඊට අමතර ව ණය උපදේශන සේවාවක් ද පැවැත්වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ පිහිටි මුදල් කෞතුකාගාරය නැරඹීමේ අවස්ථාව ද මෙහි දී සහභාගීවන්නන්ට ලැබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශන 25%ක වට්ටමක් යටතේ මිලදී ගැනීමේ පහසුකම් ද සලසා ඇත.

    මහ බැංකු සේවාවන් සැපයීමට අමතර ව වෙළෙඳ කුටි සහ තවත් විශේෂාංග රැසකින් සමන්විත මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව රජරට සහ වයඹ ජනතාවගෙන් ඉල්ලා සිටියි.