ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

    October, 24, 2016

    2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2016 ඔක්තෝබර් 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.

    මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ෂන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කළ්‍යාණි දහනායක මහත්මිය සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච්. අමරතුංග මහතා විසින් මුදල් විශුද්ධිකරණය සම ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදී.

    මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එකිනෙකට සම්බන්ධ වන මූල්‍ය අපරාධයන් වන අතර එමගින් ගෝලීය ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවට තර්ජනයක් එල්ල වීමේ හැකියාව ඇත.

    ලොව පුරා බදු අපරාධ වර්ධනය වීමත් සමඟ බදු ගෙවීම් පැහැර හැරීම මූලික වර්දක් ලෙස සැලකිය යුතු බවට මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් රටවලට නිර්දේශ කර ඇත.

    මෙවැනි පසුබිමක් යටතේ මූල්‍ය බුද්ධි ඒකකය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර දේශීය වශයෙන් පවතින සම්බන්ධීකරණය සහ සහයෝගීතාව, බදු මුදල් ගෙවීම පැහැර හැරීමට අදාළව සිදුවන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වේ.

    ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විටත් ශ්‍රී ලංකා රේගුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ මෙවැනිම අවබෝධතා ගිවිසුම්වලට එළැඹි ඇති අතර, අදාළ අනෙකුත් දේශීය රාජ්‍ය ආයතන සමඟ ද ඉතා ඉක්මනින් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇත.