කොටස් වෙළෙඳපොළ ඉහළට. පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි

    May, 6, 2026

    අද (06) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 155.47ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 22,739.77ක් ලෙසින් වාර්තා විය.

    මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 31.89කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,245.13ක් ලෙසින් සටහන් වුණි.

    දිනය තුළ රු. බිලියන 4.13ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. කෙසේවෙතත් එය වසරේ මේ දක්වා සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රු. බිලියන 5.15ට වඩා අඩු අගයයකි.

    දිනය තුළ දේශීය ආයෝජකයින්ගේ සක්‍රීය දායකත්වය ඉහළ මට්ටමක පවතිනු දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.98ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.04ක් ලෙසින් වාර්තා විය. අද දින විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 143ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 81ක් තරම් පහළ මට්ටමක පැවතිණි.

    මිල දර්ශකවල ඉහළ යාමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, HNB, මෙල්ස්ටාකෝප්, හේලීස් සහ RIL ප්‍රොපටි යන සමාගම්වලින් ඉහළ ධනාත්මක දායකත්වයක් ලැබී තිබෙන බව කොටස් වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි.