ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, ඕමාන මූල්‍ය තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

    July, 16, 2025

    ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය2025  ජූලි 09 වන දින ලක්සම්බර්ග් හි පැවති එග්මන්ට් සමූහයේ 31 වන සමුළුවේ දී, ඕමාන රාජ්‍යයේ මූල්‍ය තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණය, ඒ ආශ්‍රිත මූලික වැරදි සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ වරද සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙම අවබෝධතා ගිවිසුම මගින් පහසුකම් සපයයි.
    තොරතුරු හුවමාරු කර ගැනීම මගින් සිය ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා ලොව පුරා ඇති මූල්‍ය බුද්ධි ඒකකයන් අවබෝධතා ගිවිසුම්වලට එළැඹෙයි. බොහෝ විට සංකීර්ණ ගෝලීය වශයෙන් පැතිරී ඇති අපරාධමය ජාල සම්බන්ධ වන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි ගෝලීය සටනේ දී මෙම සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ.
    අපරාධවලින් උත්පාදිත දේ, මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම යන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකසහිත වාර්තා සහ තොරතුරු ලබා ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ ඉල්ලා සිටීමට ඕමාන රාජ්‍යයේ මූල්‍ය තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානයට බලය ඇත. එසේම, මුදල් විශුද්ධිකරණය/ත්‍රස්තවාදයට මුදල් සැපයීම හෝ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් හා සම්බන්ධ සැකකටයුතු මුදල් ගනුදෙනුවලට අදාළ තොරතුරු ලබාගැනීම, විශ්ලේෂණය කිරීම සහ බෙදාහැරීම මෙන්ම මෙරට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව සඳහා කේන්ද්‍රීය මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කරයි.
    ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය සහ ඕමාන රාජ්‍යයේ මූල්‍ය තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ විධායක සභාපති කර්නල් අබ්දුල් රහ්මාන් අමූර් අල්- කියුමි මහතා අදාළ ආයතන වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් සමඟ, බුද්ධිමය තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විට විදේශීය පාර්ශ්වකරුවන් 46ක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹී ඇත.