October, 14, 2026
ශ්රී ලංකා රේගුව 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 2,207ක් වූ සිය ආදායම් ඉලක්කය ඔක්තෝබර් 13 වන දිනට සම්පූර්ණ කර ඇති බව ශ්රී ලංකා රේගුව නිවේදනය කර සිටී. ඒ අනුව, ඔක්තෝබර් 13 වන දින වනවිට ශ්රී ලංකා රේගුව 2026 වර්ෂය සඳහා රැස්කළ සම්පූර්ණ අදායම රුපියල් බිලියන 2,208ක් වේ.
මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
ශ්රී ලංකා රේගුව 2025 වසරේදී සිය ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2,115ක ආදායම 2025 නොවැම්බර් 11 වන දින සම්පූර්ණ කරන ලදී. 2026 වසරේ ආදායම් ඉලක්කය 2025 වසරේ ආදායම් ඉලක්කයට වඩා ඉහළ වුවත්, එම ආදායම් ඉලක්කය ඊටත් වඩා අඩු කාලයකින් සම්පූර්ණ කර ගැනීමට රේගුව මෙවර සමත්ව ඇත.
2025 වසරේ ආදායම් ඉලක්කය සම්පූර්ණ කිරීමෙන් පසුව සංශෝධිත ආදායම් ඉලක්කය ලෙස රුපියල් බිලියන 2,231 දක්වා ආදායම් ඉලක්කය ඉහළ දැමුණු අතර, 2025 වසර අවසානයේදී එම සංශෝධිත ආදායම් ඉලක්කයද අභිබවමින් රුපියල් බිලියන 2557.5ක දැවැන්ත ආදායමක් රැස්කර ගැනීමට රේගුව සමත් විය.
රේගු කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඔක්තෝබර් 01 වැනිදා සිට රේගු ප්රකාශන ඉදිරිපත් කිරීම ඩිජිටල් අත්සන භාවිතා කිරීම ආරම්භ කළ අතර, ඔක්තෝබර් 19 වන දින සිට රේගු ප්රකාශන ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම ඩිජිටල් අත්සන සහිතව පමණක් සිදුකරන අතර පැරණි ක්රමයට ඉදිරිපත් කරන ලිපිද්රව්ය බාරගැනීම අවසන් කරනු ඇත.
ශ්රී ලංකා රේගුවේ ආදායම් රැස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමත් සහ වංචා දූෂණ අවම කරමින් කටයුතු කිරීමත් නිසා කෙටි කලකින් රේගු ආදායම් අපේක්ෂිත ඉලක්ක අභිබවා යාමට මෙසේ සමත්ව ඇත. රේගු ප්රකාශන ක්රියාවලිය ඩිජිටල්කරණය ඇතුළු නව ප්රතිසංස්කරණවලින් පසුව රේගු කටයුතු තවත් කාර්යක්ෂම වනු ඇත.
Video Story