ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය 2026 ලෝක සංචාරක දිනය සමරයි

    September, 26, 2026

    “සංචාරක ව්‍යාපාරය නැවත හැඩගැස්වීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍ර සහ කෘත්‍රිම බුද්ධිය” යන්න මෙවර ලෝක තේමාව කරගනිමින්, 2026 ලෝක සංචාරක දින ජාතික සැමරුම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් ඊයේ (25) කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී අභිමානවත්ව පවත්වන ලදී.

    මෙම උත්සවය සඳහා රජය, සංචාරක කර්මාන්තය, පෞද්ගලික අංශය, අධ්‍යාපනික ක්ෂේත්‍රය මෙන්ම තාක්ෂණික හා නවෝත්පාදන ප්‍රජාව නියෝජනය කරමින් විශේෂ ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ. සංචාරක ක්ෂේත්‍රය නැවත හැඩගැස්වීම, සංචාරකයින්ගේ අත්දැකීම් ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා නව අවස්ථා උදාකර දීම වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) ඉටුකරන පරිවර්තනීය කාර්යභාරය මෙම වැඩසටහනේදී අවධාරණය කෙරිණි.

    මෙම සැමරුමේ ප්‍රධාන සංකේතයක් වූයේ “සංචාරක ව්‍යාපාරයේ අනාගතය උදෙසා AI පදනම් කරගත් නවෝත්පාදන” යන තේමාව යටතේ පවත්වන ලද 2026 සංචාරක ආරම්භක ව්‍යාපාර තරගයයි. උසස් අධ්‍යාපන මට්ටම (Tertiary Level) සහ වාණිජ මට්ටම (Commercial Level) යන කාණ්ඩ දෙක යටතේ අයදුම්පත් 52 ක් ඉදිරිපත්ව තිබූ අතර, එමගින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ සහ සංචාරක ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින්ගේ නිර්මාණශීලීත්වය හා ව්‍යවසායකත්ව ආකල්ප මැනවින් පිළිඹිඹු විය.

    විධිමත් ඇගයීම් ක්‍රියාවලියකින් පසුව, අවසන් අදියර සඳහා අයදුම්පත් 25 ක් තෝරාගන්නා ලද අතර, එහිදී තරගකරුවන් විසින් AI තාක්ෂණය පදනම් කරගත් සංචාරක විසඳුම් විශේෂඥ මණ්ඩලයක් හමුවේ ඉදිරිපත් කරන ලදී. අවසානයේදී, සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් දක්වන ලද නවෝත්පාදන දායකත්වය අගයමින් සෑම කාණ්ඩයකින්ම ජයග්‍රාහකයින් හයදෙනා බැගින් තෝරාගන්නා ලදී. අද දින පැවැති සැමරුම් උත්සවයේදී මෙම ජයග්‍රාහකයින් නිල වශයෙන් ඇගයීමට ලක්කෙරුණු අතර, ඔවුන්ගේ තාක්ෂණික විසඳුම් ප්‍රදර්ශනය කිරීමටත්, ක්ෂේත්‍රය තුළ වැඩි නවෝත්පාදනයක් උත්තේජනය කිරීමටත් එමගින් මගපෑදිණි.

    සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ට නැගී එන තාක්ෂණයන් අනුගමනය කිරීමට උපකාරී වන, නවෝත්පාදනය පදනම් කරගත් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ වැදගත්කම මෙම ජාතික සැමරුමේදී අවධාරණය විය. AI සහ ඩිජිටල් පරිවර්තනය වැළඳ ගැනීම මගින් තරගකාරීත්වය ශක්තිමත් කිරීම, ගමනාන්ත කළමනාකරණය යහපත් කිරීම, සේවා සැපයීම ඉහළ නැංවීම සහ සංචාරකයින් සඳහා වඩාත් පුද්ගලීකරණය කළ අත්දැකීම් ලබාදීම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ අරමුණයි.

    රාජ්‍ය අංශය, පෞද්ගලික ව්‍යවසාය, අධ්‍යාපනික ක්ෂේත්‍රය සහ තාක්ෂණික ප්‍රජාව අතර පවතින සහයෝගීතාවයේ වැදගත්කම මෙම වැඩසටහනේදී පෙන්වා දුන් අතර, තිරසාර සහ ඩිජිටල් තාක්ෂණයෙන් සබල කළ සංචාරක කර්මාන්තයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම එහිදී නැවතත් තහවුරු විය.

    උත්සවය ඇමතූ බලධාරීන් පෙන්වා දුන්නේ 2026 ලෝක සංචාරක දිනය, අනාගතයට සූදානම් සංචාරක ක්ෂේත්‍රයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන බවයි. සංචාරක ආරම්භක ව්‍යාපාර තරගය වැනි වැඩසටහන් හරහා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නවෝත්පාදනය, ව්‍යවසායකත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට අඛණ්ඩව කටයුතු කරන අතර, එමගින් ගෝලීය සංචාරක පරිවර්තනයේ පෙරමුණේම රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත.