ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ Couch Safari අත්දැකීම අති සාර්ථකව නිමාව දකියි

    November, 23, 2020

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රථම වතාවට ස්ට්‍රීමින්ග් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ලොව හමුවට රැගෙන යමින් ඉදිරිපත් කල වැඩසටහන සංචාරක ක්ෂේත්‍රයේ හවුල් කරුවන්, කොටස් කරුවන් ඇතුළු සියළු දෙනාගේම සහභාගීත්වයෙන් පසුගිය දා අති සාර්ථක ලෙස නිමාව දුටුවා. මෙම වැඩසටහන 2020 වසර තුල ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් දියත් කල විශාලතම ප්‍රවර්ධන වැඩසටහන ලෙස සැලකේ.

    සමස්තයක් ලෙස, මේ වන විට වැඩසටහන මිලියන 22 කට අධික ප්‍රතිචාර සමග මිලියන 1.7 කට වඩා වැඩි වීඩියෝ දර්ශන ප්‍රමාණයක් සහ ක්ලික් කිරීම් 40,000 කට වඩා උත්පාදනය කර ඇත. වැඩසටහන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ් සහ ට්විටර් ආදී සමාජ ජාලා හරහා විකාශය කෙරුනු අතර ගූගල් ඩිස්ප්ලේ නෙට්වර්ක් සහ ට්‍රිප් ඇඩ්වයිසර් භාවිතා කරමින් සෘජු සංදර්ශන ප්‍රචාරණ ව්‍යාපාර සිදු කරන ලදී. ප්‍රමුඛ පෙළේ සන්චාරක ගැණුම් කරුවන් වෙනුවෙන් දැන්වීම් පළකිරීමට වීඩියෝ සහ දෘශ්ය මාධ්ය යොදා ගැනුනි. ප්‍රමුඛ පෙළේ වනජීවී, සංචාරක වෙබ් අඩවි සහ යූ ටියුබ් නාලිකා තුළ Couch Safari වැඩසටහන ප්‍රචාරනය කෙරුනේ වීඩියෝ සහ දෘශ්ය මාධ්ය හරහාය.

    වැඩසටහන ප්‍රචාරණය කල කාලය තුළ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ෆේස්බුක් පිටුව මිලියන 7 ක පමණ ජනතාවක් වෙත ළඟා වී ඇති අතර, එය මිලියන 1.4 කට අධික වීඩියෝ දර්ශන ප්‍රමාණයක් ජනනය කර ඇත. 200,000ට අධික ප්‍රමාණයක් මේ කාලය තුල පිටුව හා සම්බන්ධ වී ඇත්තේ කමෙන්ටු 3500ක් හා බෙදාගැනීම් 5500 ක් පමණ සංඛ්‍යාවක් සමගය. ප්‍රචාරණ කාලය තුළදීද ෆේස්බුක් හි මිලියන 11 කට අධික ආකර්ෂණයක් ඇති කර ගත් මෙම වැඩසටහන, එම කාලය තුළ සබැඳි ක්ලික් කිරීම් 16000 කට අධික ප්‍රමාණයක් ලබා ගෙන ඇත.

    නොවැම්බර් 4 වනදා සිට 13 වනදා දක්වා ඒ සදහාම වෙන්වුනු වෙබ් අඩවියක් හරහාත් සමාජ ජාලා වෙබ් අඩවි හරහාත්, ඇපල්, රෝකු ටීවී හා පෙරිස්කෝප් හා බොක්ස්කාස්ට් නාලිකා හරහාත් විකාශය කෙරුන් මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වනෝද්‍යාන හතරක් වන කවුඩුල්ල, මින්නේරිය, උඩවලව සහ යාල ජාතික උද්යාන යන ආවරණය කෙරුනි. මෙම වැඩසටහනට සමග එක්වුනු ආචාර්ය ප්‍රිත්විරාජ් ප්‍රනාන්දු (CCR ශ්‍රී ලංකාහි සභාපති ), චිත්‍රාල් ජයතිලක (සම්මානලාභී ඡායාරූප ශිල්පී), ශ්‍රීලාල් මිත්තපාල (වනජීවී විශේෂඥ) සහ විමුක්ති වීරතුංග (වන්ජීවී විද්‍යාඥ) යන මහත්වරුන් ශ්‍රී ලංකාවේ වන මෘගයන්ගේ දර්ශන රූපගත කිරීමට කැමරා කණ්ඩායමට මග පෙන්වන අතරම මේ තේජාන්විත ජීවීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ විශේෂ දැනුම ප්‍රේක්ෂකයන් සමග බෙදා ගත්හ.

    ඔවුන්ට මතුවූ ගැටළු විශේෂඥයන් හරහා එවේලේම විසදා ගැනීමටද අවස්ථාව ලැබිනි. වැඩසටහන සමඟ සක්‍රීයව සම්බන්ධ වූ සියලු වයස් කාණ්ඩවල ප්‍රේක්ෂකයන්ට මෙය විනෝදජනක මෙන්ම අධ්‍යාපනික අත්දැකීමක් ද වූ අතර මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ වන ජීවීන්ගේ විවිධත්වයට බොහෝ දෙනාගේ දෑස් විවර කළේය.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ නොමිලේ නිවාඩුවක් දිනා ගැනීමට අවස්ථාව ලබා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ විදේශීය ප්‍රේක්ෂකයින් සඳහා තරඟයක් ද පවත්වන ලදී. මෙම තරඟය සඳහා ප්‍රේක්ෂකයින්ගෙන් මෙන්ම හෝටල් නවාතැන් සඳහා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වූ දේශීය හෝටල්කරුවන්ගෙන් ද ඉතා යහපත් ප්‍රතිචාරය ලැබුණි.

    “මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට අපට සහාය දුන් වනජීවී විශේෂඥයින්, කැමරා කණ්ඩායම සහ නිෂ්පාදන කාර්ය මණ්ඩලයට මෙන්ම, ප්‍රවර්ධනයට උපකාරී වූ කර්මාන්ත පාර්ශ්වකරුවන් සහ හවුල්කරුවන්ටත් විශේෂයෙන්ම Couch Safari හා සම්බන්ධ වූ දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින්ටත් මගේ කෘතඥතාව පළ කරමි. රටේ යහපත උදෙසා සාමූහිකව කටයුතු කිරීම තුළින් සාර්ථකත්වය ළඟා කර ගැනීමට හැකි බව පෙන්වීමට මෙය කදිම උදාහරණයක්. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසරයේ වැදගත්කම පිළිබඳව අපට විශාල අවබෝධයක් ලබා දුන් අතරම රටේ සංචාරක ආදායම් උත්පාදනය කිරීම සඳහා වන ජීවීන් ඒකාබද්ධ කළ හැකි බවත් අප වටහා ගත්තා. මෙම වැඩසටහන අනාගතයේ දී අනෙකුත් ජාතික උද්‍යානවලට මෙන්ම අනෙකුත් සංචාරක කර්මාන්ත අංශ වෙතද ව්‍යාප්ත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” වැඩසටහන සාර්ථක කරගැනීමට සහාය වූ සියළුම පාර්ශව වලට ස්තූති කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ක්‍රිමාලි ෆර්නෑන්ඩු මහත්මිය පවසා සිටියාය.