ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළඳාම ඉහළට

    August, 18, 2016

    ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඉතා වැදගත් හැරවුම් ලක්ෂයකට පැමිණ තිබෙන බවත් දැනට රටවල් දෙක අතර වෙළඳාම සියයට 6.3 කින් ඉහළ ගොස් තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    වාණිජ මණ්ඩල සම්මේලනය විසින් පසුගිය දා සංවිධානය කර තිබූ ඉන්දු ලංකා ආර්ථික සංවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ රජයන් දෙකම ද්විපාර්ශවීය වෙළඳාම පුළුල් කිරීමේ උපායමාර්ගික සැළසුම් සකස් කරමින් සිටින බවත් මෙය ඉතිහාසයේ ඉතාමත් වැදගත් කඩ ඉමක් වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    පසුගිය වසරේ දී පමණක් මුළු ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකන් ඩොලර් බිලියන 4.91ක් දක්වා වර්ධනය වී තිබෙන බවත් පසුගිය කාලයේ දී ඉන්දියාවෙන් මෙරට නිෂ්පාදන ලබා ගැනීම සැළකිය යුතු ආකාරයකින් වාර්ධනය වී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    විශේෂයෙන් ම මෙරට නිෂ්පාදිත බීජ වර්ග, ගම්මිරිස් හා නාවික යාත්‍රා මෙන්ම ප්‍රධාන අපනයනයක් වන ඇගලුම් ද ඒ අතර වේ.

    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    “විශේෂයෙන් ම ගම්මිරිස් අපනයනය ඇමෙරිකන් ඩොලර් මිලියන 85ක් දක්වා තුන් ගුණයකින් ඉහළ ගිය අතර නාවික යාත්‍රා ඉන්දියාවට අපනයනයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 57ක් ලැබී තිබෙන බවත් එය ද තුන්ගුණයක වර්ධනයක්. එපමණක් නොවේ. 2015 වර්ෂයේ දී ඇගලුම් අපනයනයෙන් ඩොලර් මිලියන 30ක් අපට උපයාගත හැකිව තිබෙනවා. අපගේ වෘත්තීය මට්ටම හා නිෂ්පාදන සේවා තවදුරටත් වැඩිදියුණු කළ හැකියි. අපගේ ද්විපාර්ශ්වීය ආයෝජනයන්හි ධනාත්මක ප්‍රවණතාවක් ද පෙන්නුම් කරනවා.

    2005 වර්ෂයේ සිට 2015 සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ සමස්ත ඉන්දියානු ආයෝජන පරිමාව ඇමෙරිකන් ඩොලර්බ මිලියන 800 ට ආසන්න වී තිබෙනවා. අපි මෙය ඩොලර් බිලියන එකකින් වැඩිදියුණු කිරීමේ අපේක්ෂාවෙන් පසුවනවා. ඉන්දියාවේ පුද්ගලික සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමටත් අපි ආරාධනා කරනවා. ඒ වගේ ම ශ්‍රී ලාංකීය සමාගම් ඉන්දියාවට ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ මාස් සමාගම, ඔරේන්ඩ් ඉලෙක්ට්‍රොනික් සමාගම, දම්රෝ සමාගම මේ අතර ඉදිරියෙන් සිටිනවා.“

    මෙම අවස්ථාවට එක්වූ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා කියා සිටියේ රටවල් දෙකේම මෑතක සිදු වූ දේශපාලනික වෙනස්කම් හේතුවෙන් රටවල් දෙක අතර ද්විපාර්ශ්වීය වෙළඳාම වර්ධන කිරීමට හේතුවක් වී ඇති බවයි. ඉහළ පෙලේ ඉන්දීය නියේජිත පිරිසක් ලබන ඔක්තෝබරයේ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ශ්‍රී ලංකාවේ සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා වර්ධනය කරගැනීම එහිදී අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

    මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියා නියෝජ්‍ය මහකොමසාරිස් අරින්දම් බන්ගච් මහතා, ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඇතුළු අමුත්තන් රැසක් ද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති සරත් කහපලආරච්චි මහතා ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ.