ශ්‍රී ලාංකිකයන්ට ගුණාත්මක බැංකු සේවාවක් ලබා දෙමින් SDB බැංකුවේ නගර ශාඛාව නව මුහුණුවරකින් යූනියන් පෙදෙසේ විවෘත වෙයි

    April, 20, 2023

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු සමස්ත ප්‍රගතිශීලි ශ්‍රී ලාංකිකයන්ට ගැළපෙන බැංකුකරණ විසඳුම් ලබා දෙන, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් සහිත, මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන SDB බැංකුවේ ප්‍රධාන නගර ශාඛාව කොළඹ 02, යූනියන් පෙදෙසේ, අංක 162 යන ස්ථානයේ පිහිටුවන ලදි. SDB බැංකුවේ සභාපතිනි දිනිති රත්නායක මියගේ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් 19 වැනි දින නව නගර ශාඛාව නිල වශයෙන් විවෘත කරන ලද අතර මෙම උත්සවකාරී අවස්ථාවට බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරීන්, SDB බැංකුවේ පාරිභෝගිකයන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    ප්‍රමාණවත් තරම් වාහන නතර කිරීමේ පහසුකම්, ATM පහසුකම් ආදී වැඩිදියුණු කළ පහසුකම් රාශියකින් සමන්විතව, භෞමික වශයෙන් ප්‍රධාන වූ නගර සීමාවක  SDB නගර ශාඛාව පිහිටවීම එහි කළමනාකාරීත්වය විසින් ගන්නා ලද ක්‍රමෝපායික පියවරකි.

    නව නගර ශාඛාව මගින් ඉතුරුම්, ස්ථාවර තැන්පත්, ව්‍යාපාරික බැංකුකරණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පිරිනමන ණය පහසුකම්, උකස් සේවා, ලීසිං සේවා ඇතුළු නිෂ්පාදන හා සේවා රැසක් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කර ඇති අතර ඒ ඔස්සේ පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් නව්‍ය බැංකුකරණ විසඳුම් සිය ගනුදෙනුකරුවන්ට ලබා දීම සඳහා SDB බැංකුව දක්වන කැපවීම ද ප්‍රකට කෙරෙයි. විශේෂයෙන්ම බැංකුවේ ඉතුරුම් නිෂ්පාදන පරාසය විසින් ලබා දෙන තරඟකාරී පොලී අනුපාත ඇතුළු අනෙකුත් සුවිශේෂී විශේෂාංග වෙළෙඳපොල තුළ කැපී පෙනෙයි. ක්‍රියාකාරී තැන්පත්කරුවන්ට සහ මාසික වැටුප් ලබන වෘත්තිකයන්ට 'Top Saver Plus' ගිණුම්, ව්‍යාපාර සඳහා 'SDB Business Saver' ගිණුම් සහ දරුවන්ට 'SDB Lakdaru' ගිණුම් වශයෙන් සියලුම කොටස් ආවරණය වන පරිදි, සිය තත්ත්වයන් අනුව ප්‍රතිලාභ ලැබිය හැකි ගිණුම් සමූහයක් SDB බැංකුව විසින් පිරිනමා ඇත. ඉහළ පොලී අනුපාත හැරුණුවිට, 'SDB Top Saver Plus' ගනුදෙනුකරුවන් සඳහා දෛනික පොලී ගණනය කිරීම් ඔස්සේ වඩාත් නම්‍යශීලී සේවාවක් ලබා දෙන අතර 'SDB Business Saver' ගනුදෙනුකරුවන් සඳහා ඩිජිටල් පහසුකම් සැපයීමෙන් ද 'SDB Lakdaru' ගිණුම් හිමි දරුවන් සඳහා නොමිලේ රක්ෂණාවරණයක් ලබා දීමෙන් ද සැළකිය යුතු ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.

    SDB බැංකුවට සමාන දැක්මකින් සහ වටිනාකම්වලින් සමන්විත ඉහළ වත්කම් සහිත ගනුදෙනුකරුවන්ට නව නගර ශාඛාව හරහා නිරන්තරයෙන් SDB බැංකුව සමඟ සම්බන්ධ විය හැකි අතර එමගින් බැංකුවක් ලෙස රට තුළ ව්‍යවසායකත්වය ඉහළ නැංවීමටත් එමගින් ජාතික ආර්ථික සංවර්ධනයටත් දායකත්වය ලබා දෙනු ඇත.

    SDB බැංකුවේ බස්නාහිර 01 ප්‍රාදේශීය කළමනාකරු දිනේෂ් ස්වර්ණගේ මහතා SDB බැංකුවේ නගර ශාඛාව නැවත ස්ථාපනය කිරීම පිළිබඳව මෙසේ පැවසුවේය. “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, කොළඹ මූලික කර ගත් ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමේ කාර්යය නැවත ශක්තිමත් කරමින් SDB නගර ශාඛාව අලුතෙන් ස්ථාපනය කිරීම සුවිශේෂී සංධිස්ථානයක්. රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම්වලට ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ඉහළ වත්කම් සහිත ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පහසුකම් සහ විවිධ සේවාවන් මෙම ශාඛාව ඔස්සේ ලබා දෙනවා. ඉහළ වත්කම් සහිත ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයකට එක වර සේවා සැපයීමටත් අපට මේ ඔස්සේ අවස්ථාව උදා වෙනවා. ඒ වගේම නගර ශාඛව තුළ ක්‍රියාත්මක වන අද්විතීය සැලසුම් සහ පහසුකම් නිසා පාරිභෝගිකයා ඉලක්ක කර ගත් අපගේ නැවුම් ප්‍රවේශයත් පැහැදිලි වෙනවා. ඒ අනුව අපි අපේ ගනුදෙනුකරුවන්ට උණුසුම් මානවීයත්වයක් මුසු වුණු පෞද්ගලික බැංකුකරණ අත්දැකීමක් කිසිඳු බාධාවකින් තොරව, වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා.“

    වසර 25කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ විශාල සේවාවක් සිදු කර ඇති SDB බැංකුව පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ආරක්ෂිත සහ විශ්වාසනීය බැංකුකරණ විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් කීර්තියක් ලබා ඇත. SDB බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන බලපත්‍රලාභී සුවිශේෂී බැංකුවක් වන අතර කොළඹ කොටස් වෙළෙඳපොලේ ප්‍රධාන මණ්ඩලයේ ලැයිස්තුගත කර ඇති, Fitch Ratings Sri Lanka විසින් BB+ (ස්ථාවර) ණය ශ්‍රේණිගත කිරීමක් සහිත බැංකුවකි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහයෝගය ලබා දීමෙන් සහ කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දීමෙන් SDB බැංකුව මෙරට තිරසාර සංවර්ධනය සහ ආර්ථික උන්නතිය වෙනුවෙන් කැප වී සිටියි. මීට අමතරව නිපුණතා සංවර්ධන, ව්‍යවසායකත්ව, මාර්ගෝපදේශන සහ උපදේශන වැඩසටහන්වලින් සමන්විත වැඩමුළු ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍ය සේවාවන්ට වැඩි යමක් ලබා දෙමින් ඉතිරි කිරීම සඳහා දිරිගැන්වීමටත් මෙරට ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත් SDB බැංකුව කැප වී සිටියි. සිය මූල්‍ය ක්‍රියාකාරකම්වලදී ව්‍යාපාරික ප්‍රමුඛතාවයන්ට අමතරව තිරසාර එළඹුමකින් කටයුතු කරමින් පාරිසරික, සමාජ සහ පරිපාලන තිරසාරත්වය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීම කෙරෙහි ද SDB බැංකුව සැළකිලිමත් වෙයි.

    කොළඹ 02, යූනියන් පෙදෙසේ, අංක 167 ස්ථානයේ පිහිටුවන ලද SDB බැංකුවේ නව නගර ශාඛාව

     

    ඡායාරූපය  - SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා, SDB බැංකුවේ සභාපතිනි දිනිත රත්නායක මිය, සණස පදනමේ සාමාන්‍යාධිකාරී සුමිත් නිශාන්ත මහතා