ශ්‍රී ලාංකිකයන්ට වඩා ආරක්ෂාකාරී සහ ශක්තිමත් සන්නිවේදන සබඳතාවයක් ගෙනඒමට වයිබර් පියවර ගනී

    June, 18, 2018

    සමාජ ජාලයන්හි පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඒවා භාවිත කරන්නන් විසින් විශාල හඬක් මතු කරමින් සිටින පසුබිමක, ලොව ප්‍රමුඛ පෙළේ කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් සේවාවක් වන වයිබර් (Viber), සිය ජාලය තුළ හුවමාරු වන දත්තවල ආරක්ෂාව සහ රහස්‍යභාවය රැකගැනීම වෙනුවෙන් සුවිශේෂී පියවර රැසක් ගෙන තිබේ.

    ඇතැම් සමාජ ජාලා සහ කෙටි පණිවුඩ ඇප්ස් හරහා පෞද්ගලික පණිවුඩවල දත්ත සොරකම් කරන අතර එසේ ලබාගන්නා වටිනා දත්ත එම ඇප් සේවාවන්හි පද්ධතිමය භාවිතාවන් සඳහාත් ඔවුන්ගේ දැන්වීම්කරුවන් සඳහාත් ලබාදෙන බවටත් පසුගිය කාලයේ විශාල කතාබහක් මතුවිය.

    ශ්‍රී ලංකාව තුළ සිටින සමස්ත වයිබර් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 08කට අධික ය. එහිලා වයිබර් ස්ටිකර්ස් භාවිතය ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර මාසිකව ශ්‍රී ලාංකිකයන් අතර වයිබර් ස්ටිකර්ස් මිලියන 100ක් පමණ හුවමාරු වෙතැයි ගණන් බලා තිබේ. එවන් පසුබිමක වයිබර් සේවාව, දත්ත හුවමාරුව සඳහා ස්වයංක්‍රීයව පූර්ණ ආරක්ෂාවක් සැපයීමට කැපවී හිඳී.

    කණ්ඩායම් අතර සහ පුද්ගලයින් දෙදෙනෙකු අතර හුවමාරු වන දුරකථන ඇමතුම්, වීඩියෝ ඇමතුම්, කෙටි පණිවුඩ, වීඩියෝ දසුන් හා ඡායාරූප ආදිය සඳහා වයිබර් සේවාව හරහා සැපයෙන ආරක්ෂාව සහ රහස්‍යභාවය කොතෙක් ද යත් වයිබර් සේවාවට හෝ එම දත්ත වලට ප්‍රවේශ වීමේ හැකියාවක් නොමැත.

    මේ පිළිබඳ අදහස් දක්වමින් වයිබර්හි අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානී අනුභව් නයියර් මහතා මෙසේ පැවසීය. ‟ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ආසියානු කලාපය තුළ වයිබර් බහුලව භාවිත වන රටක්. ඒ නිසාම වයිබර් භාවිත කරන්නන්ගේ ආරක්ෂාව සහ රහස්‍යභාවයේ ඇති වැදගත්කම පිළිබඳ අපි අවබෝධ කරගෙන සිටිනවා. ඇතැම් කෙටි පණිවුඩ ඇප් සේවාවන්හි රහස්‍යභාවය සහ ආරක්ෂාව ඒවා භාවිත කරන්නන් විසින්ම ක්‍රියාත්මක කරගත යුතුයි. නමුත් වයිබර් ඊට වෙනස්. අපි ස්වයංක්‍රීයව දත්තවල රහස්‍යභාවය සහ ආරක්ෂාව සලසා දෙනවා. ඒ නිසා වයිබර් භාවිත කරන්නන්ට ඒ ගැන වදවීමට කිසිදු හේතුවක් නැහැ”

    ජංගම දුරකථනයක් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් හරහා වයිබර් පණිවුඩයක් යැවූ විට එය ගමන් කරන්නේ විදාරණය වූ කේතයක් ලෙසිනි. එම කේතය නැවත පණිවුඩයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව පවතින්නේ ග්‍රාහකයාගේ  ස්මාට් උපාංගයට පමණි.

    එමෙන්ම යම් පණිවුඩයක් යැවූ පසු ඒ හා සම්බන්ධ කිසිදු දත්තයක් වයිබර් සේවා පද්ධතියේ ගබඩාවන්නේ නැත. යම් හෙයකින් ග්‍රාහකයාගේ ස්මාට් උපාංගය අන්තර්ජාලය හා සම්බන්ධ වී නොමැති විටෙකදී වුවද අදාළ පණිවුඩය වයිබර්හි තාවකාලිකව ගබඩා වන්නේ විදාරණය කළ කේතයක් වශයෙනි. ඒ ද උපරිම ආරක්ෂාව හා රහස්‍යභාවය තහවුරු වන අන්දමිනි. ග්‍රාහකයාගේ ස්මාට් උපාංගය අන්තර්ජාලය හා සම්බන්ධ වූ පසු යළි එය ස්වයංක්‍රීයව යවනු ලැබේ.

    මෙනිසා තම පෞද්ගලික සන්නිවේදන කටයුතු ඉලක්ක කරගත් දැන්වීම්වලින් පීඩා විඳීමක් ගැන වයිබර් භාවිත කරන්නන්ට වද විය යුතු නැත. මන්ද වයිබර කිසිවිටෙකත් පෞද්ගලික තොරතුරු කිසිදු පාර්ශ්වයක් සමඟ බෙදාගනු නොලබයි.

    ‟වයිබර් සෑමවිටම උත්සාහ ගන්නේ, වඩාත් හොඳ සන්නිවේදන සේවාවක් භාවිත කරන්නන්ට සැපයීමටයි. ඔවුන්ට නිරන්තරයෙන් විශ්වාසය තැබිය හැකි ආරක්ෂිත උපක්‍රම භාවිත කරමින් සබඳතා ශක්තිමක් කරගැනීමට අවකාශ සැලසීමට එහිලා ප්‍රමුඛතාවයක් හිමිවෙනවා” යනුවෙන් නයියර් මහතා වැඩිදුරටත් පැවසීය.