ශ්‍රී ලාංකේය නව ව්‍යවසාය ක්ෂේත්‍රයට මංපෙත් විවර කරමින් Disrupt Asia 2017 සාර්ථකව නිමවෙයි

    August, 8, 2017

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසාය සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයවන Disrupt Asia, මෙරට නව ව්‍යවසාය ක්ෂේත්‍රය සඳහා නව මානයන් රැසක් නිර්මාණය කරමින් පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය කීර්තිමත් දෙස්-විදෙස් දේශකයන්, සම්පත් දායකයන් 52 දෙනෙකුගේ සහ 350කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    ප්‍රධාන දේශන, අන්තර්-ක්‍රියාකාරී වැඩමුළු, වේග අධීක්ෂණ සහ නව ව්‍යවසාය හරහා ජනමත නායකයන්, ව්‍යවසායකයන්, ආයෝජකයන් සහ ප්‍රමුඛ පෙළේ ප්‍රජා සාමාජිකයන් ඇතුළු විවිධ පාර්ශ්ව නියෝජනය කරන විශාල පිරිසක් මේ හරහා එකම වේදිකාවකට ගෙන ඒමට ICTA ආයතනය සමත් විය.

    "අප සිටින්නේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අතිශය වැදගත් කාල පරිඡේදයකයි. ශ්‍රී ලංකාව ව්‍යවසාය ක්ෂේත්‍රයේ බලවතෙකු බවට පත් කිරීම සඳහා අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි" මෙහිදී ප්‍රධාන දේශනය සිදු කළ ශ්‍රේණි ව්‍යවසායකයෙකු මෙන්ම ගෝලීය ව්‍යාපාරික විශේෂඥයෙකු ද වන ෂෙරිල් එඩිසන් මහත්මිය සඳහන් කළාය.

    ඇමරිකානු නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක්වන එතුමිය, නිල ගෙවීම් ක්‍රමවේදයක් නොමැති වීම නිසා දේශීය ව්‍යවසාය අංශය අභියෝගයකට මුහුණ පා ඇති බවය. "එය මෙරට ව්‍යවසායකයන්ට තනිව ජයගත හැකි අභියෝගයක් නොවේ. එබැවින් අප සියලු දෙනා එක්ව මෙරට සෑම පුද්ගලයෙකුට ම මුදල් සංසරණය කළ හැකි සහ තමන්ට මෙන්ම තමන්ගේ ප්‍රජාවට ද එක සේ ප්‍රතිලාභ සලසන ව්‍යාපාරයක් ගොඩනගා ගත හැකි ලෙස ඔවුන් සවිබල ගැන්විය හැකි ගෙවීම් ක්‍රමවේදයක් සකස් කළ යුතුය"

    පස්වරු සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වූ CustomSpace හවුල්කාර සහ Carbon70 Holdings සමාගමේ ප්‍රධානී කෙවින් පෙට්‍රොවික් මහතා සඳහන් කළේ පාරිභෝගිකයන් සඳහා අගය වැඩිදියුණු කිරීමේ අදහස තමන් ආරම්භ කළ සෑම ව්‍යාපාරයක ම ආරම්භක සංකල්පය වූ බවය. "මිනිස්සුන්ට ඇත්තටම අවශ්‍ය දෙයක් නිර්මාණය කරන්න. ඔබට හොඳ අදහසක් නොමැති නම් තවත් කෙනෙකුගේ අදහසක් අනුගමනය කරන්න" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
    "ඕනෑම කෙනෙකුට නැගී සිටීම සඳහා උපකාර අවශ්‍යයි. ඒ නිසා තවත් කෙනෙකුගෙන් උපකාර ඉල්ලීමට මැලි නොවන්න. ඔබගේ ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති, ඒ පිළිබඳ කැමැත්තක් දක්වන සහ උපකාර කිරීමට ඉදිරිපත්වන පිරිස සොයා ගැනීමට උත්සාහ කරන්න. එය සාර්ථක නව ව්‍යවසායක් ඉදිරියට ගමන් කිරීමේ ශක්තිමත් බලවේගයක් ලෙස කටයුතු කරනවා" කෙවින් මහතා අවධාරණය කළේය.

    ව්‍යවසායකත්වය පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ව්‍යවසායකයෙකු වීමට තමන්ගේම කියා අදහසක් අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය නොවන බවය. කෙනෙකුට සමාගමක් ගොඩනගා ගැනීමට හෝ එහි එහි පාර්ශ්වකරුවෙකු හෝ විය හැකි බවත් මෙම ක්‍රම දෙකම ව්‍යවසායකත්වය යටතට ගත හැකි බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

    ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් රැසක් සහ දැනුමින් පොහොසත් සැසි නවයකින් ප්‍රධාන සම්මන්ත්‍රණය සමන්විත විය. නව ව්‍යවසාය පරිසරයක් වෙතට ගමන් කිරීම පිළිබඳ සිය අදහස් බෙදාහදා ගැනීමේ අවස්ථාව ද මෙහිදී සහභාගී වූවන් හට හිමි විය. 'ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයට සූදානම් ද', 'තාක්ෂණ විවිධාංගිකරණය තුළ අප කෙතරම් සාර්ථක වී තිබේද', 'නව ව්‍යවසායවල වේගවත් වර්ධනය සඳහා ඇති අවස්ථා මෙන්ම බාධාවන් මොනවාද' ආදී වැදගත් සැසි කිහිපයක් මෙහිදී ක්‍රියාත්මක විය.

    ප්‍රධාන සම්මන්ත්‍රණයට සමගාමීව 'Stage 2.0' සාකච්ඡා සැසිය ද ක්‍රියාත්මක විය. තම ව්‍යාපාරය තුළ නවෝත්පාදන සංකල්ප ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න පිළිබඳ මෙහිදී ව්‍යවසායකයන්ට දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කළ හැකි විය.

    මෙහිදී සංවිධානය කර තිබූ ආයෝජන උපායමාර්ග වට මේස සාකච්ඡාව සඳහා ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් මෙන්ම තාක්ෂණික ක්ෂේත්‍රයේ නව ව්‍යවසාය සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් පසුවන ආයෝජකයෝ ද 40කට අධික පිරිසක් සහභාගී වූහ. ධනාත්මක චින්තකයෙකු, ව්‍යවසායකයෙකු, අනාගතවාදියෙකු, ආයෝජකයෙකු මෙන්ම Ignition Angels ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා දවන ඩැනියල් ගොල්ඩ්මන් මහතා නව ව්‍යවසාය ආරම්භක අවදියේදී ම ආයෝජනය කිරීමෙන් හිමිකර ගත හැකි අවස්ථා පිළිබඳ සැසි සහ මණ්ඩල සාකච්ඡා වට කිහිපයක් සිදු කළේය.

    මෙම සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වුණු වැඩමුළු අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහයෝගයෙන් යුතුව සංවිධානය කෙරුණු අධ්‍යාපනික වැඩමුළුව කැපී පෙනුණි. ආචාර්ය නීලම් සක්සේනා සහ මහාචාර්ය රෙහාන් භානා යන විදේශීය සම්පත් දායකයන් දෙපළ ද ICTA ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉන්දික ද සොයිසා මහතා ද මෙහිදී සිය අදහස් පළ කළහ.

    රජයේ සහ පුද්ගලික ව්ශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනය 20කට අධික ප්‍රමාණයක් මෙම වැඩමුළුව සඳහා සහභාගී විය. ප්‍රධාන සාකච්ඡාව ඉලක්ක වූයේ විශ්වවිද්‍යාල සමග එක්ව එම සිසුන්ගේ ව්‍යවසාය පරිසරය සංවර්ධනය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳවය.

    නව තාක්ෂණික ව්‍යවසාය 27ක් Disrupt Asia 2017 ප්‍රදර්ශනයේදී සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කළේය. දේශීය නව ව්‍යවසායකයන් මුණ ගැසී ශ්‍රී ලාංකේය ව්‍යවසාය පරිසරයේ නව පිබිදීම සියැසින් දැකබලා ගැනීමට මේ සඳහා සහභාගී වූවන්ට හැකි විය.

    විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ සහයෝගයෙන් යුතුව සංවිධානය කෙරුණු Disrupt Asia 2017 සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය ව්‍යවසායකයන්ගේ සහ අනුග්‍රාහකයන්ගේ නොමඳ දායකත්වයෙන් සාර්ථකව නිම විය. Visa (ප්ලැටිනම් සහකරු), Sri Lanka Business Hubs (රැකියා පරිශ්‍ර සහකරු), Edulink International Campus (සහයෝගී හවුල්කරු), Edison International (ආයෝජන සමුළු සහකරු), ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ GTZ (ප්‍රජා සහකරුවන්), Hemas Slingshot (නව ව්‍යවසාය තරග සහකරු) සහ Gudppl (ස්වේච්ඡා සහකරු) යන අනුග්‍රාහකයෝ ද මෙහි සාර්ථකත්වය වෙනුවෙන් අත්වැල් බැඳ ගත්හ.