March, 1, 2019
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර සහයෝගීත්වය වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් 'Breakfast Buzz' නමින් විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය කටයුතු කර ඇත.
මෙහි ප්‍රථම වැඩසටහන පවත්වන ලද්දේ 'Changing the Paradigm: Crafting and Implementing Evidence Based Policies' යන තේමාව යටතේ වන අතර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එහි ප්‍රධාන දේශනය සිදුකරන ලදි. දෙපාර්ශ්වයේ ඉහළම තලයේ සාමාජික සාමාජිකාවෝ රැසක් මීට සහභාගී වූහ.
සිය ප්‍රධාන දේශනයේදී අමාත්‍ය මංගල සමරවීර මහතා, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සහ එහි ආකර්ශණීයත්වය වර්ධනය කර ගැනීම සඳහා ස්ථාවර ප්රතිපත්තියක පිහිටා කටයුතු කිරීමෙන් වැඩි හැකියාවක් ඇතිකරගත හැකිබව ප්‍රකාශ කළේය. එමෙන්ම ස්ථාවර ආර්ථිකයක් ඇතිකරගැනීම සඳහා දේශපාලන නායකත්වයන් මත වෙනස්වන ප්රතිපත්තීන් මත නොපිහිටා ස්ථාවර නව ප්රතිපත්තීන් නිර්මාණය කිරිමටත් එය ක්‍රියාත්මක කිරීමටත් රජය යොමුවිය යුතු බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
අමාත්‍යතුමන්ගේ දේශනයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථකය මුහුණ දී ඇති ගැටලූ සම්බන්ධයෙන් සංවාදයක් පැවැත්විණි. මීට මනෝ තිත්තවල මහතා (ජ්‍යෙෂ්ඨ උපදේශක - මුදල් අමාත්‍යාංශය), දේශාල් ද මෙල් මහතා (ආර්ථික උපදේශක - මුදල් අමාත්‍යාංශය), මානින්ද වික්‍රමසිංහ මහතා (ප්‍රධානී - Fitch Ratings Sri Lanka) සහ ජීවන් ඥානම් මහතා (සභාපති - SLASSCOM) යන මහත්වරු සහභාගී වූහ. Nithya Partners හි අරිත්ත වික්‍රමනායක මහතා සංවාදය මෙහෙයවී ය.
දැනට සිදුවන ප්‍රතිපත්තිමය සංශෝධනයන් නිසා ක්‍රමෝපායික ආයෝජන අහිමි වන බවටත්, ආයෝජකයන් දුර්මුඛ වන බවටත් පොදුවේ පවතින අදහස මෙහිදී සංවාදයට ලක්කෙරිණි. එමෙන්ම ව්‍යාපාරකරණයට බරපතළ බාධාවක් වන, දේශපාලනය පදනම් කරගෙන තීන්දු ගැනීමේ සම්ප්රදාය ගැනද ව්‍යාපාරික නායකයෝ මෙහිදී සාකච්ඡා කළහ.
‘‘ප්‍රතිපත්ති සම්පාදකයන්ට ව්‍යාපාර ක්ෂේත්රය සමග විවෘත සංවාදයක් ඇතිකර ගනිමින් වඩාත් ඵලදායී හා සමබර ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වේදිකාවක් සපයා දීම 'Breakfast Buzz' වැඩසටහන් මාලාවේ ඉලක්කයයි. මෙමගින් බලධාරීන්ට ආර්ථික හා ජාතික සංවර්ධන කටයුතු සඳහා විවිධ ක්ෂේත්‍ර වල විශේෂඥයන්ගේ දායකත්වය ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතර, ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සහ ඒවාට අනුකූලතාව ලබාගැනීම වඩාත් පහසු වනවා.” ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපති මයිකල් කෝස්ට් මහතා පැවසී ය.
රාජ්‍ය හා පෞද්ගලික අංශ වලට අමතරව විවිධ ක්ෂේත්‍ර වල බලධාරීන් සහ ජනමාධ්‍ය අතර සම්බන්ධතා ගොඩනැංවීමට 'Breakfast Buzz' වැඩසටහන් මාලාව උපකාරී වනු ඇත. සුහුරු ප්‍රතිපත්ති සම්පාදනය, නියාමනයන් යාවත්කාලීන කිරීම හා අධිකරණ පද්ධතිය, රටේ අධ්‍යාපනය සහ කුසලතා කළමනාකරණය වෙනස් කිරීම, ජාවාරම් සහ ව්‍යාජ නිෂ්පාදන පාලනය කිරීම සහ වඩාත් කාර්යක්ෂම නිලතන්ත්රයක් නිර්මාණය කිරීම යනාදී මාතෘකා සාකච්ඡා කිරීමට මෙම වැඩසටහන මනා පදනමක් වනු නිසැක ය.
1992 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය මෙරට ප්රමුඛ පෙළේ සමාගම් 260 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන සාමාජිකයන් 400 කට අධික පිරිසකගෙන් සමන්විත වේ. මෙම සමාගම් අතරට ඉහළ පෙළේ Fortune 500 සමාගම් වල මෙන්ම, එම සමාගම් නියෝජනය කරන වෙනත් සමාගම් වල සාමාජිකයන්ද ඇතුළත් ය.
ශ්‍රී ලංකාවේ, ආසියා පැසිපික් කලාපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ හා ආයෝජන අවස්ථා හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය මනා පදනමක් සපයයි. තවද එම මණ්ඩලය, වාණිජ මණ්ඩලය 29 කින් සමන්විත ආසියා පැසිෆික් ඇමරිකානු වාණිජ මණ්ඩල සභාවේ සාමාජික මණ්ඩලයක්ද වේ.


Video Story