ශ‍්‍රී ලංකාවේ තාක්ෂණයෙන් සපිරුණු ඩිජිටල් බැංකු ගිණුම ‘ෆ්ලෑෂ්’ නමින් කොමර්ෂල් බැංකුව එළි දක්වයි

    August, 7, 2018

    මීට පෙර අත් නොවිඳි පුද්ගලික මූල්‍ය කළමනාකරණ උපාංග සහිතයි

    ඩිජිටල් මූල්‍ය සේවාවල ඊළඟ අදියරේ සංවර්ධනයට ගැලපෙන පරිදි නිර්මාණය කර තිබෙන ශ‍්‍රී ලංකාවේ පළමු පරිපූර්ණ ඩිජිටල් බැංකු ගිණුම කොමර්ෂල් බැංකුව විසින් එළිදක්වා තිබේ.

    ‘ෆ්ලෑෂ්’ යනුවෙන් සන්නාමකරණය කර තිබෙන මෙම බැංකු ගිණුම සංවර්ධනය කර තිබෙන්නේ 2016 වසරේදී සිංගප්පූරුව තුළ නව්‍ය සමාජ ගෙවීම් ඇප් පහසුකමක් හඳුන්වා දුන් සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන Kashmi  සමඟ ඒකාබද්ධවයි.

    කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ මෙම ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම මගින් ශ‍්‍රී ලාංකිකයින් කොතනක සිටියත් ඔවුන්ට සරල මෙන්ම ගැටලූ වලින් තොර බැංකුකරණ අත්දැකීමක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි. මීට පෙර මෙරට පාරිභෝගිකයින් අත් නොවිඳි නවතම පුද්ගලික මූල්‍ය කළමනාකරණ උපාංග වලින් මෙම බැංකු ගිණුම සමන්විත වන අතර ඒ තුළින් තමන්ගේ මුදල් බුද්ධිමත් ලෙස වියදම් කිරීමටත් ඉතිරි කිරීමටත් මග පෙන්වීම මෙම ගිණුම තුළින් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

    මෙම ගිණුම් හිමියන්ට ‘ෆ්ලෑෂ්’ ඇප් පහසුකම App Store හෝ Play Store මගින් ඩවුන්ලෝඞ් කරගත හැකිය. සාම්ප‍්‍රදායික බැංකු ක‍්‍රමය සමග ගනුදෙනු කිරීමට අකමැති හෝ නොහැකි නව පාරිභෝගික කණ්ඩායමක් වෙත මෙම ඇප් පහසුකම ඔස්සේ බැංකුවේ මූල්‍ය සේවා සමීප කරන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මේ අනුව බලන විට, කොමර්ෂල් බැංකුව සහ  Kashmi එක්ව ශ‍්‍රී ලංකාව පුරාම මූල්‍ය සේවා අංශයේ විප්ලවයක් ඇති කිරීමට කටයුතු කරනු ඇත.

    මෙම ඇප් පහසුකමට ලියාපදිංචි වූ පසුව සිය ජංගම දුරකතනය ඔස්සේ  ඕනෑම වේලාවක  ඕනෑම තැනක සිට ගිණුම් හිමියන්ට කොමර්ෂල් බැංකුව විසින් ලබාදෙන මූල්‍ය සේවා මාලාවක් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

    ශේෂය බලා ගැනීම, අරමුදල් යැවීම සහ බිල්පත් ගෙවීම යන සාම්ප‍්‍රදායික අන්තර්ජාල බැංකු සේවාවන්ට අමතරව මෙම ඇප් පහසුකම මගින් එය භාවිතා කරන්නාගේ මූල්‍ය සුරක්ෂිතතාවය ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කර තිබීම කැපී පෙනේ. මේ අනුව, තමන්ගේ මුදල් සහ අරමුදල් වඩාත් නිවැරදිව සහ වගකීම් සහගතව කළමනාකරණය කිරීමට අවශ්‍ය විශේෂ පහසුකම් මෙම ඇප් සේවාව මගින් ගනුදෙනුකරුවන්ට ලබාදී තිබේ.

    මෙම සේවාව යටතේ හිමිවන ෆ්ලෑෂ් ඩෙබිට් කාඞ්පත එම අවස්ථාවේදීම සියලුම වියදම් ගණනය කර පෙන්වන නව පහසුකමකට සෘජුවම සම්බන්ධ කර තිබෙන නිසා එය භාවිතා කරන්නන්ට දෛනික වියදම් පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවේ. මෙමගින් ලබාදෙන ඉතිරිකිරීම් කළමනාකරණ පහසුකම නිසා ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කරගනිමින් දිගුකාලීන මූල්‍ය ශක්තිය වර්ධනය කරගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබේ. එසේම, සමූහ ගෙවීම් කළමනාකරණය කිරීමට ලබාදී තිබෙන පහසුකම තුළින් ශ‍්‍රී ලංකාවේදී පළමු වරට එකවර ගෙවීම් කිහිපයක් යැවීමට සහ ලබාගැනීමට අවස්ථාව ලබාදී ඇත. මෙහිදී, ආයෝජන කළමනාකරණය සඳහා ලබාදී තිබෙන පහසුකම භාවිතා කරමින් ඉක්මනින්ම ස්ථාවර තැන්පතු නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර රක්ෂණ වාරික, කොටස් සහ බොහෝ ධනය කළමනාකරණය කිරීමේ උපකරණ සඳහා ක්ෂණිකව අයදුම් කිරීමේ අවස්ථාව මේ යටතේ අනාගතයේදී ලබාදීමට සැලසුම් කර තිබේ.

    ‘ෆ්ලෑෂ්’ ඉතිරි කිරීමේ බැංකු ගිණුම එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස් රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ශ‍්‍රී ලංකාවේ බැංකු ගනුදෙනුකරුවන් මින් පෙර අත් නොවිඳි මූල්‍ය කළමනාකරණ උපාංග වැනි පහසුකම් වලින් සමන්විත තාක්ෂණයෙන් පිරිපුන් මෙම සුවිශේෂී ඩිජිටල් බැංකු ගිණුම හඳුන්වාදීමට ලැබීම පිළිබඳව කොමර්ෂල් බැංකුව ආඩම්බර වෙනවා. සමාජ මාධ්‍ය තුළ ක‍්‍රියාකාරී නව පරම්පරාවේ ගනුදෙනුකරුවන්ට මෙය ඉතාමත් වැදගත් සේවාවක් වනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ වගේම මෙමගින් සාම්ප‍්‍රදායික බැංකුකරණය විප්ලවීය මාවතකට රැගෙන ගොස් තිබෙන බව කිව යුතුයි. මෙම බැංකු ගිණුම මගින් ලබාදී තිබෙන පහසුකම් තුළින් ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණ අත්දැකීම ඉහළ තලයකට රැගෙන යාමට සමත්වී තිබෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිත තුළට සුව පහසුව ලබාදීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීමේ අපගේ පොරොන්දුව මෙමගින් මනාව ඉටුවන බව කිව යුතුයි.’

    මෙම අති නවීන පුද්ගලික මූල්‍ය කළමනාකරණ උපාංග වලට අමතරව මෙම ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ගිණුම මගින් අන් කවරදාකටත් වඩා පහසු ලෙස සාම්ප‍්‍රදායික බැංකුකරණයේ යෙදීමේ අවස්ථාව ගනුදෙනුකරුවන්ට ලබාදී ඇත. මෙහිදී, QR කේතයන් භාවිතා කිරීම තුළින් තනි තනි පුද්ගලයින්ට සහ වෙළෙඳුන්ට ගෙවීම් කිරීමේ අවස්ථාව හිමිකර දී තිබේ. මුදල් භාවිතා කිරීමට අකමැති ස්ථාන වලදී ගනුදෙනුකරුවන්ට Tap n Go ක‍්‍රමයට සරලව NFC තාක්ෂණය පදනම් කරගත් ගෙවීම් සිදුකළ හැකිය. එසේම, අතින් සහ අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කිරීමට ගනුදෙනුකරුවන්ට මෙහිදී ‘ෆ්ලෑෂ්’ ATM/Debit පත භාවිතා කළ හැකි අතර මිල පිළිබඳව වඩාත් උනන්දුවන ගනුදෙනු කරුවන්ට තමන් අවට තිබෙන වට්ටම් සහ ප‍්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව දැනුවත්වීමේ පණිවුඩ ලබාගැනීමේ හැකියාවද මෙහිදී ලබාදී තිබේ. අමතර සුරක්ෂිතභාවය සඳහා ‘ෆ්ලෑෂ්’ ගිණුම් හිමියන්ට තම ජෛව දත්ත ඇතුළත් කිරීමේ අවස්ථාවද ලබාදී තිබෙන බව බැංකුව සඳහන් කරයි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 775 ක් සහ බැංකු ශාඛා 261 ක් පවත්වාගෙන යයි. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේ මුල් මාස හය තුළදී දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන වෙතින් ජාත්‍යන්තර සම්මාන 16 ක් දිනාගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ පවත්වාගෙන යයි.