ශ‍්‍රී ලංකාවේ පළමු රූකඩ කලා කෞතුකාගාරයට කොමර්ෂල් බැංකුව මූල්‍යාධාර පිරිනමයි

    September, 4, 2017

    අම්බලන්ගොඩ ප‍්‍රදේශයට ආවේණික වූ සාම්ප‍්‍රදායික රූකඩ කලාව නගා සිටුවීමේ අරමුණෙන් කොමර්ෂල් බැංකුවේ මුදල් ආධාර මත ශ‍්‍රී ලංකාවේ පළමු රූකඩ කෞතුකාගාරය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

    මේ අනුව, ශ‍්‍රී ලංකාවේ රූකඩ කලාවේ පියා ලෙසින් සැලකෙන පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ හතරවන පරම්පරාවේ සාමාජිකයෙකු සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකු වන ගන්වරි සුපුන් ගාමිණී මහතා විසින් කොමර්ෂල් බැංකුවට යෝජනා කර තිබෙන්නේ මෙම කලාවේ උන්නතිය වෙනුවෙන් කෞතුකාගාරයක් සහ රඟහලක් අම්බලන්ගොඩ ආරම්භ කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි. මෙරට ජාතික උරුමය රැුකගැනීමේ වැඩසටහන් සඳහා නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන කොමර්ෂල් බැංකුව මෙම යෝජනාව පිළිගෙන ඇත.

    යෝජිත රූකඩ කලා කෞතුකාගාරය පිහිටුවීමට සූදානම් වන්නේ ‘සර්වෝදය’ ආයතනයෙන් කල්බදු පහසුකම මත ලබාගන්නා ගොඩනැගිල්ලක වන අතර මෙහි දේශීය විදේශීය සංචාරකයින් වෙනුවෙන් රූකඩ සංදර්ශන පැවැත්වීමට කොළඹ දෘශ්‍ය සහ රංග කලා විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුන්ගේ සහයෝගය හිමිවේ.

    මෙහිදී, ගොඩනැගිල්ලේ බදු කුලිය ගෙවීම, රූකඩ අලංකරණය සහ ඇඳුම් නිර්මාණය, පසුතල නිර්මාණය, තිර රෙදි, විදුලි අලෝකකරණය, ශබ්ද පරිපාලනය, වේදිකා නිර්මාණය, ලිපි ද්‍රව්‍ය සහ අලෙවිකරණය යන කටයුතු සඳහා කොමර්ෂල් බැංකුව මුදලින් ආධාර කරයි.

    ‘මේ තුළින් ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික රූකඩ සහ ඒ ආශ‍්‍රිත කලා නිර්මාණ අනාගත පරම්පරාව වෙනුවෙන් ඉතාමත් හොඳින් සංරක්ෂණය වෙනවාල’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ මෙහෙයුම් ප‍්‍රධානී, ප‍්‍රියන්ති පෙරේරා මහත්මිය පැවසුවාය. ‘නව සංස්කෘතික බලපෑම් හමුවේ මෙම කලාව අභාවයට යෑමේ අවධානමක් තිබෙනවා. සුපුන් ගාමිණී මහතා විසින් මෙම කලාව රැුක ගැනීමට ඉහළ දැක්මකින් යුතු යෝජනාවක් ඉදිරිපත්කළ අතර ඒ සඳහා අරමුදල් ලබාදීමට හැකිවීම පිළිබඳව කොමර්ෂල් බැංකුව සතුටු වෙනවා.’

    මෙම යෝජිත කෞතුකාගාරය තුළ සිංහල සංස්කෘතියේ එන ඉතාමත් ජනප‍්‍රිය රූකඩ කලා නිර්මාණ සහ සාම්ප‍්‍රදායික යක්ෂ වෙස් මුහුණු මාලාවක් ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම කෞතුකාගාරයේ පිටු පසට වෙන්නට පිහිටි විශාල ශාලාවක රූකඩ සංදර්ශන පැවැත්වීමේ වේදිකාව නිර්මාණය කරන අතර එහි ‘දික්තල-කාලගෝල’ සහ ජාතක කතා රූකඩ නිර්මාණ ඇතුළු රූකඩ සංදර්ශන ප‍්‍රදර්ශනය කරනු ඇත.

    මත්ද්‍රව්‍ය, දුම්බීම, සෞඛ්‍ය සහ මාර්ග නිතී යන මාතෘකා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ආකාරයේ රූකඩ සංදර්ශන මෙම වේදිකාවේ රඟ දැක්වීමටද සැලසුම් කර තිබේ.

    ජාතිය උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා සහයෝගය ලබාදීම කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරයේ එක් ප‍්‍රධාන අංගයක් වේ. මෙම අරමුණ වෙනුවෙන් කිරි වෙහෙර භූමියේ කෞතුකාගාරයක් ඉදිකිරීම, දඹුල්ල විහාරය සඳහා විදුලි ආලෝකකරණ කනු පරිත්‍යාග කිරීම සහ එම කණු අළුත් වැඩියා කටයුතු සඳහා සහයෝගය ලබාදීම, ශ‍්‍රී පාදස්ථානයේ පියගැටපෙළ පිළිසකර කිරීම යන වැඩසටහන් බැංකුව විසින් සිදුකළ සමාජ සත්කාරක ව්‍යාපෘති වලින් කිහිපයක් පමණි.