ශ‍්‍රී ලංකාවේ ‘වඩාත් වගකීම් සහගත බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව සම්මාන ලබයි

    October, 6, 2017

    ව්‍යාපාරික, ආර්ථික සහ මූල්‍ය තොරතුරු වාර්තා කරන ලන්ඩන් නුවර පදනම් කරගත් මුද්‍රිත සහ අන්තර්ජාල ජර්නලයක් වන ‘කැපිටල් ෆයිනෑන්ස් ඉන්ටර්නැෂනල්’ (CFI.co) විසින් ශ‍්‍රී ලංකාවේ ‘වඩාත් වගකීම් සහගත බැංකුව’ (Most Responsible Bank) ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත.

    බැංකුවට මෙම සම්මානය ලබාදීමට විශේෂයෙන්ම හේතුවී තිබෙන්නේ බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ හරිත බලශක්ති ධාරිතාවය පුළුල් කිරීම වෙනුවෙන් මහා පරිමාණයේ පුනර්ජනනීය ව්‍යාපෘති වෙනුවෙන් හරිත මූල්‍යකරණය වැඩි කිරීමට කර තිබෙන දායකත්වයයි.

    මීට අමතරව, මෙරට සංචාරක කර්මාන්තය, සෞඛ්‍ය අංශය සහ යටිතල පහසුකම් ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා බැංකුව විසින් දක්වා තිබෙන කැමැත්තද 2017 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘වඩාත් වගකීම් සහගත බැංකුව’ සම්මානය දිනා ගැනීමට ඉවහල් වී තිබේ.

    වගකීම් සහගත බැංකුකරණය වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ ශක්තිමත් ප‍්‍රවේශය ‘කැපිටල් ෆයිනෑන්ස් ඉන්ටර්නැෂනල්’ විනිසුරු මඩුල්ලේ ඇගයීමට ලක්වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව තුළ බැංකුව සිදුකරන පුරෝගාමී කාර්ය භාරය ප‍්‍රශංසාවට ලක්කර ඇත. තිරසාර සහ සමාජයට වගකියන ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම දිරිමත් කිරීමේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩසටහනක් වන United Nations Global Compact (UNGC) සඳහා මුලින්ම සම්බන්ධ වී තිබෙන බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

     

    ‘ආයතනික යහපාලනයේ සහ ආයතනික සමාජ වගකීමේ ඉහළම ප‍්‍රමිතීන් පවත්වා ගනිමින් සියළු පාර්ශවකරුවන්ගේ අපේක්ෂාවන් ඉටුවන ආකාරයේ ව්‍යාපාරික ආකෘතියක් ගොඩනැගීමට හැකිවීම පිළිබඳව කොමර්ෂල් බැංකුව ආඩම්බර වෙනවාල’ යනුවෙන් මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, ජෙගන් දුරෙයිරත්නම් මහතා සඳහන් කළේය. ‘මෙම සම්මානය මගින් පෙන්නුම් කරන්නේ අපගේ ගනුදෙනුකරුවන්ට පමණක් නොව මේ රටටත් සේවයක් සිදුවන අයුරින් අප විසින් ව්‍යාපාරික කටයුතු සිදුකිරීමයි.’

    ‘කැපිටල් ෆයිනෑන්ස් ඉන්ටර්නැෂනල්’  සම්මාන මගින් ඇගයීමට ලක් කරන්නේ ආර්ථිකයන්ට ඉහළ දායකත්වයක් ලබාදෙමින් සියළු කොටස්කරුවන්ට වැඩි අගයක් එකතු කරන පුද්ගලයින් සහ ආයතනයි. මූල්‍ය තොරතුරු වාර්තාකරණයේ යෙදෙන ලොව ප‍්‍රමුඛතම සඟරාවක් ලෙස ‘කැපිටල් ෆයිනෑන්ස් ඉන්ටර්නැෂනල්’ විසින් අනිකුත් පාර්ශවයන් උනන්දු කරමින් ඔවුන්ගේ කාර්ය සාධනය ඉහළ දැමීමට හේතුවන ලොව පුරා ක‍්‍රියාත්මක කරන විශිෂ්ට යහක‍්‍රමවේදයන් ඇගයීමට ලක් කරයි.

    ගෝලීය වර්ධනය වෙනුවෙන් දායකත්වය දක්වන නමුත් ඒ සඳහා නිසි ජාත්‍යන්තර අවධානයක් ලැබී නොමැති කුඩා සමාගම් වෙනුවෙන් මෙම සඟරාව විශේෂ අවධානයක් යොමුකිරීම කැපී පෙනේ.

    මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 695 ක් සහ බැංකු ශාඛා 256 ක් පවත්වාගෙන යන කොමර්ෂල් බැංකුව 2016 සහ 2017 වසර තුළදී දේශීය සහ ජාත්‍යන්තර සම්මාන 22 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබේ. මේ වසර මුලදී ඇමරිකාව පදනම් කරගත් ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගත් අතර ඒෂියාමනි විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය බැංකුව සහ හොඳම ඩිජිටල් බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරා ගන්නා ලදී. එසේම, ෆයිනෑන්ස් ඒෂියා විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගත් අතර ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මුල් වරට පැවැත්වූ SLT Zero One සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුවේ වෙබ් අඩවියට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස හිමිවූ සම්මානය හිමිවිය. කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හත් වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර 2017 වසරේදී එංගලන්තයේ ඉන්ටර්නැෂනල් බෑන්කර් වෙතින් ‘වසරේ හොඳම වාණිජ බැංකුව’ සහ ‘Best Innovation in Retail Banking’ යන සම්මාන දිනා ගත්තේය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ 55%ක කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.