ශ‍්‍රී ලංකාවේ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය සූදානමින්

    April, 19, 2018

    ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බවත් බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා පවසයි.

    ඊයේ (18) පස්වරුවේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ලියම් ෆොක්ස් මහතා මේ බව සඳහන් කළේය.

    දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලියම් ෆොක්ස් මහතා සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ තොරතුරු බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළ ද අන්තර්ගත කිරීමට කටයුතු කරන බවයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදහස් දක්වමින් කියා සිටියේ අද ශ‍්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනවල වර්ධනයක් ඇතිව තිබෙන අතර සංචාරක ක්ෂේත‍්‍රයේ ද සුවිශේෂී ප‍්‍රගතියක් සිදුව තිබෙන බවයි. සියලු රටවල් සමඟ මිත‍්‍රත්වය ගොඩනගා ගනිමින් ශ‍්‍රී ලංකා රජය ගෙන යන මිත‍්‍රශීලී විදේශ ප‍්‍රතිපත්තිය තුළින් මාතෘ භූමියට ජයග‍්‍රහණ රැසක් උදාකර ගැනීමට හැකිවී තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ විදුලිබල උත්පාදන ක්ෂේත‍්‍රයේ නව ආයෝජන පිළිබඳ රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර කෘෂිකාර්මික සහ පශු සම්පත් ක්ෂේත‍්‍ර පිළිබඳව ද ප‍්‍රමුඛතාවයක් ලබාදී තිබෙන බවයි.

    බි‍්‍රතාන්‍ය රජය නිරන්තරයෙන් ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට ලබාදෙන සහය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.