ශ‍්‍රී ලංකා රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනය සහ එහි මෙහෙවර

    October, 16, 2018

    රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනය ආරම්භ වූයේ 1868 වසරේ ජූනි 15 වනදා, ලන්ඩන් නුවරදී ය. මිනුම්කරුවන් 49 දෙනෙකු වෙස්ට්මිනිස්ටර් මාලිගයේදී පැවැත්වූ රැුස්වීමකින් අනතුරුව ‘මිනුම්කරුවන්ගේ ආයතනය’ යන නමින් පිහිටුවාගන්නා ලදි. 1946 වසරේදී 6 වන ජෝර්ජ් රජු ඊට ‘රාජකීය’ නාමය පිරිනැමූ අතර 1947 වසරේදී එය ‘රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනය’ බවට පත්විය. මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත වී ඇති එම ආයතනය දේපළ සංවර්ධනය සහ ඉදිකිරීම් කර්මාන්තය ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගැනීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකරයි.

    වර්තමානය වනවිට රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනයේ සහතිකලත් වෘත්තියවේදීන් 120,000 කට අධික පිරිසක් ලොව රටවල් 150 කට අධික සංඛ්‍යාවක දේපළ හා ඉදිකිරීම් ක්ෂේත‍්‍ර වල ප‍්‍රමාණ සමීක්ෂණය, ඉඩම් මැනුම්කරණය, නගර සැලසුම්කරණය, ව්‍යාපෘති කළමනාකරණය, තක්සේරුකරණය සහ ඇස්තමේන්තුකරණය යනාදී අංශ වලට තම දායකත්වය ලබාදෙමින් සිටිති. තම වෘත්තිය සම්බන්ධ ඉහළම තලයේ වෘත්තීය හා සදාචාරාත්මක ගුණාංග මෙන්ම විනිවිදභාවය හා විධිමත්භාවය පවත්වාගැනීම සම්බන්ධ පොදු ආචාරධර්ම මාලාවක් යටතේ මෙම වෘත්තියවේදීන්ට විශේෂ පුහුණුවක් ලබාදී තිබේ.

    මිනුම්කරුවන්ගේ වෘත්තිය ශ‍්‍රී ලංකාව තුළ ආරම්භ වූයේ යටත් විජිත සමයේදී ය. මුලින් ‘භාණ්ඩාගාර තක්සේරුකරු’ (Assessor of the Treasury) ලෙස නම්කර තිබූ එම වෘත්තිය පසුකාලීනව, එංගලන්තයේ මිනුම්කරුවන්ගේ ආයතනයට රාජකීය නාමය හිමිවූ අවධියේම, එනම් 1924 වසරේදී ‘රජයේ තක්සේරුකරු’ (Government Valuer) බවට පත්විය. ලොව පුරා ඉතා ඉහළ පිළිගැනීමක් ඇති රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනයේ සේවාවන් ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණින් 2003 වසරේදී ශ‍්‍රී ලංකා රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනය ස්ථාපිත කරන ලදි.

    රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනයේ සාමාජිකත්වය ලබාගන්නා පුද්ගලයන් වෘත්තීය හැකියාවන් සම්බන්ධ Assessment of Professional Competencies යන පරීක්ෂණයෙන් සමත් විය යුතු ය. තක්සේරුකරණය, ප‍්‍රමාණ සමීක්ෂණය, ගොඩනැගිලි කළමනාකරණය, ව්‍යෘපෘති කළමනාකරණය සහ ඉඩම් මැනුම්කරණය ඇතුළු අංශ කිහිපයක් මෙම පරීක්ෂණයට අදාළ වේ. සීමිත පහසුකම් වලින් උපරිම ප‍්‍රයෝජන ගනිමින්, ආචාර ධර්ම හා වෘත්තීය ගුණාංග ආරක්ෂා කරගනිමින්, අඛණ්ඩ වෘත්තීය දියුණුව සඳහා පසුබිම සැලසීමට රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනයේ සාමාජිකයෝ කටයුතු කරති. ඵලදායී ආයෝජන උපදෙස් ලබාදීම, ව්‍යපෘති වියදම් ඇස්තමේන්තු සකස් කිරීම, ව්‍යපෘතිය ඵලදායීද නැද්ද යන්න සම්බන්ධ වාර්තා සහ ආයෝජන සඳහා ලැබෙන ප‍්‍රතිලාභ පෙන්වාදීම ආදිය රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනයේ සාමාජිකයන් වෙතින් ලැබෙන සේවාවන්ගෙන් කිහිපයකි. මෙම සාමාජිකයන් Red Book සහ Black Book නමින් හැඳින්වෙන, ආයතනයේ ආචාරධර්ම හා මාර්ගෝපදේශ මාලාවන් මෙන්ම ජාත්‍යන්තර තක්සේරුකරණ ප‍්‍රමිතීන් (International Valuation Standards) ද අනුගමනය කළ යුතු වේ.

    දේපළ සංවර්ධනය සහ ඉදිකිරීම් යනු රටේ සංවර්ධනයට බෙහෙවින් වැදගත් වන අංශ දෙකකි. රටේ දළ දේශීය නිෂ්පාදිතයට ඉහළ දායකත්වයක් ලබාදීමේ හැකියාව මෙම අංශ සතු ය. ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ ප‍්‍රමිති මාලාව එළිදැක්වීමෙන් පසුව රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනයේ සමාජිකයන්ගේ තක්සේරුකරණ සේවාවන් සඳහා විශාල ඉල්ලූමක් නිර්මාණය වී ඇත. විශේෂයෙන් කොටස් වෙළඳපොළෙහි ලියාපදිංචි වන සමාගම් හා ව්‍යාපාරිකයන්ට තම වත්කම් ඇස්තමේන්තුගත කිරීමේදී මෙම වෘත්තියවේදීන්ගේ සේවාව බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේ. එමෙන්ම දේපළ සංවර්ධනය සහ ඉදිකිරීම් යන ක්ෂේත‍්‍ර වලට සීමා නොවී කුඩා පරිමාණ ව්‍යාපෘති වල සිට, අධිවේගී මාර්ග හා වරායන් ඉදිකිරීම වැනි මහා පරිමාණයේ යටිතල පහසුකම් ව්‍යාපෘති මෙන්ම  විදුලි බලාගාර ඉදිකිරීම වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දක්වාම තම වෘත්තීය දායකත්වය ලබාදීමේ හැකියාව රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ ආයතනයේ සාමාජිකයන් සතු ය. ශ‍්‍රී ලංකාවේ දේපළ හා ඉදිකිරීම් කර්මාන්තය දියුණු කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විශාල දායකත්වයක් මෙම සාමාජිකයන් විසින් ලබාදෙනු නොඅනුමාන ය.