සංචාරක ඉලක්කය වැරදුණා ද?

    December, 11, 2017

    2017 මාස 11 ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යා දත්ත, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කළේය. මෙම දත්තවලට අනුව වසරේ මුල් මාස 11 තුළ දී 1,871,871 සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය 2016 වසරේ මුල් මාස 11 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 1,826,041 හා සැසඳීමේ දී 2.5% ක වර්ධනයක් බව සටහන් වී තිබේ.


    මෙහිදී පසුගිය නොවැම්බර් මාසය තුළ 167,511 ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර 2016 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන 167,217 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී මෙය 0.2% ක තරම් සුළු වර්ධනයකි.

    මේ අතර 2017 වසර ආරම්භයේ දී ලක්ෂ 25 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු ගත කෙරුණි. වසරේ මුල් මාස 11 තුළ පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව සැලකීමේ දී තවත් හයලක්ෂයක් ඉක්ම වූ සංචාරකයින් ගණනක් මෙම දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් මෙම ලක්ෂ 25 ක ඉලක්කය 2017 වසර තුළ දී සපුරා ගත හැකි වනු ඇත. එහෙත් අතීත සංඛ්‍යාලේඛනවලට එය කිසිසේත්ම ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගත ඉලක්කයක් නොවන බව පැහැදිලිය. පූර්ව වර්ෂයේ වැඩිම සංචාරකයින් ගණනක් පැමිණ ඇති මාසය දෙසැම්බර් මාසය වන අතර එම ප්‍රමාණය ද 224,791 ක් වේ. එබැවින් ඒ හා තුන් ගුණයක විදෙස් සංචාරකයින් ගණනක් මෙම දෙසැම්බරය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කිරීම ප්‍රායෝගික නොවේ.

    2017 වසර තුළ ඉලක්කගත විදෙස් සංචාරකයින් ප්‍රමාණය ශ්‍රී ලංකාවට නොපැමිණීමට බල පෑ හේතු කිහිපයකි. වසර තුළ නිරන්තරයෙන් දක්නට ලැබුණු ස්වභාවික ආපදා තත්ත්වය මීට මූලික වශයෙන් හේතු වූ අතර වසරේ මැද භාගයේ දී රට පුරා ඩෙංගු අධිවසංගත තත්ත්වයක් පැවතීම විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම අධෛර්යයමත් කරවීමට තවත් හේතුවක් විය. මේ වාතාවරණය තුළ ගෙවීගිය මාස 11 න් මාස 05 කදීම වාර්තා වූයේ 2016 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයට වඩා අඩු සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

    සංචාරක පැමිණීම මෙලෙස පහළ බසිද්දී එය රටේ ආදායමට ද දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම තොරතුරුවලට අනුව 2017 මුල් මාස 11 තුළ දී විදෙස් සංචාරකයින්ගෙන් උපයා ඇති මුළු ආදායම රුපියල් බිලියන 489.10 කි. එය 2016 වසරේ මුල් මාස 11 තුළ උපයා ඇති රුපියල් බිලියන 454.96 ක ආදායම හා සැසඳීමේ දී 7.50% ක වර්ධනයකි.

    සුපුරුදු පරිදි 2017 වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. 336,840 ක් වන එම ප්‍රමාණය 2016 වසරට වඩා 5.7 ක ඉහළ යාමකි. මෙම ලැයිස්තුවේ දෙවැනි තැන චීනයට හිමිව ඇති අතර එය පසුගිය වසරට වඩා 1.0% ක පහළ යාමක් වාර්තා කරමින් 279,718 ක් ලෙසින් සටහන් වී තිබේ.