සංචාරක පොඩ්ඩන්ට මංගලගෙන් සහන

    May, 30, 2019

    සංචාරක කර්මාන්තයේ නිරත වී සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා රුපියල් ලක්ෂ 5 ක් දක්වා උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදලක් ලබා දීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (30) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මෙම ණය ගෙවීම සඳහා මාස 12 ක සහන කාලයක් සහ වසර තුනක ණය ගෙවීම් කාලයක් හිමිවන බවයි. මෙම ණය යෝජනා ක්‍රමය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා පමණක් ක්‍රියාත්මක කරන බවත් මෙහිදී 100%ක්ම ලබා දෙන පොළී සහනාධාරය තම රජය විසින් ගෙවනු ලබන බවත් අමාත්‍යවරයා කියා සිටියේය. මෙම ණය යෝජනා ක්‍රමය නම් කර ඇත්තේ “සංචාරක පොඩ්ඩෝ“ යනුවෙනි.

    මීට අමතරව අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ඇති වූ වාතාවරණය හමුවේ පුද්ගලික බස්රථ කර්මාන්තය මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව එම බස් රථ සමාගම් සමඟ සාකච්ඡා කළ බව මුදල් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ අතර එහිදී කල්බදු වාරික ගෙවීමට ඇති බස් රථ සඳහා අප්‍රේල් සහ මැයි මාස දෙක වෙනුවෙන් පමා කාලසීමාවක් ලබා දෙන ලෙස මූල්‍ය හා කල්බදු සමාගම්වලට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද පැවසුවේය.

    තවද සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීම අනුව එළිමහන් සංගීත සංදර්ශන පවත්වන කණ්ඩායම්වල සාමාජිකයින් පිරිසක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් පසු එළිමහන් සංගීත සංදර්ශන නොපැවැත්වීම හේතුවෙන් එයින් යැපුණු පිරිස් දැඩු මූල්‍ය අපහසුතාවන්ට පත්ව ඇත. මේ තත්ත්වය තුළ සංගීත කණ්ඩායම්වල සාමාජිකයින් වෙත 2019 ජූනි 10 දින සිට කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 ක උපරිමයක් දක්වා 3.4% සහන පොළියට ණයක් ලබා දීමට ද තීරණය කළ බව මුදල් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    එමෙන්ම තොරණ් කර්මාන්තයේ නිරත පිරිස් වෙනුවෙන් සහන ලබා දීම කෙරෙහි ද තම රජයේ අවධානය යොමුව ඇති බවත් එළඹෙන බදාදා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.