සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලක්ෂපති අලුත් ත්‍යාගත් සමග දසලක්ෂපති වෙයි

    March, 21, 2017

    දශක ගණනක පටන් මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් අඛණ්ඩව කැප වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය, අලෙවි වාර්තා තැබූ සිය 'ලක්ෂපති' ලොතරැයිය 'දසලක්ෂපති' ලෙස පාරිභෝගිකයාට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. වැඩි වාසනාවන්තයන් පිරිසක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව සුවිශේෂී දිනුම් අවස්ථා රැසක් සමගින් 'ලක්ෂපති' ලොතරැයිය 'දසලක්ෂපති' නමින් නැවුම් මුහුණුවරකින් පාරිභෝගිකයා අතට පත් වේ.

    වාසනාවන්ත අංක තුන, ඉංග්‍රීසි අක්ෂරය සහ දිනය ගැළපීමෙන් පළමු ත්‍යාගය ලෙස ලක්ෂ 25ක් වටිනා මෝටර් රථයක් හිමිකර ගැනීමට මෙමගින් පාරිභෝගිකයාට හැකි වේ. තවද, ඕනෑම අංකයක් ගැළපීමෙන් රු. 20ක් ද, ඕනෑම අංක දෙකක් ගැළපීමෙන් රු. 200ක් ද, අංක තුන ම ගැළපීමෙන් රු. 100,000 ක් ද 'දස ලක්ෂපති' ලොතරැයිය පිරිනමයි. ඕනෑම අංකයක් සහ ඉංග්‍රීසි අක්ෂරය ගැළපීමෙන් රු. 100 ක් ද, ඕනෑම අංක දෙකක් සහ ඉංග්‍රීසි අක්ෂරය ගැළපීමෙන් රු. 1000ක් ද, අංක තුන සහ ඉංග්‍රීසි අක්ෂරය ගැළපීමෙන් රු. දස ලක්ෂයක් ද, අංක තුන, ඉංග්‍රීසි අක්ෂරය සහ දිනය ගැළපීමෙන් මෝටර් රථයක් ද පිරිනැමීමට 'දසලක්ෂපති' ලොතරැයිය කටයුතු කරයි.

    ඉතාමත් අඩු පන්දු සංඛ්‍යාවකින් මෙම දිනුම් ඇදීම සිදු කරන නිසා ලොතරැයි මිලදී ගන්නන්ට දිනා ගැනීමේ අවස්ථා වැඩි කර ඇත. දිනුම් ඇදීම සඳහා පන්දු 55කින් පන්දු 3ක් ද, වෙනම පන්දු 26කින් එක් පන්දුවක් ද, සතියේ දින හත ඇතුළත් පන්දු හතකින් එක් පන්දුවක් තෝරා ගැනීම මෙම ලොතරැයියේ ඇති විශේෂත්වයයි.

    මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම අලෙවියක් වාර්තා කළ 'ලක්ෂපති' ලොතරැයිය දිනුම් ඇදීම් වාර 50ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ලක්ෂපතියන් 2700 කට අධික සංඛ්‍යාවක් බිහි කිරීමට සමත් විය. ඒ අනුව, එක් දිනුම් වාරයකදී ලක්ෂපතියන් 40 දෙනෙකු පමණ බිහි වී ඇත. සීමිත පිරිසකට පමණක් සීමාවන ලොතරැයි ජයග්‍රහණ වැඩි පිරිසක් අතරේ බෙදා හැරීම ඉලක්ක කර ගනිමින් හඳුන්වා දෙන ලද 'ලක්ෂපති' ලොතරැයිය, තවත් ඉදිරි පියවරක් තබමින් වැඩි පිරිසක් දස ලක්ෂපතියන් බවට පත් කිරීම වෙනුවෙන් 'දසලක්ෂපති' නමින් පාරිභෝගිකයා අතට පත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර ඇත. මෙම ලොතරැයිය හඳුන්වා දීමත් සමග සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරට වඩාත් ජනාදරයට පාත්‍ර වූ ලොතරැයි ආයතනය ලෙස සිය නාමය තවදුරටත් සනිටුහන් කර ගැනීමට සමත්ව සිටී.

    සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලාභාංශ අඛණ්ඩව ජනාධිපති අරමුදලට ලබා දෙමින් මෙරට දරුවන්ගේ උසස් අධ්‍යාපනය, වෛද්‍ය සහ සැත්කම් අවශ්‍යතාවන් හා විවිධ සංස්කෘතික හා ක්‍රීඩා ඉසව් ඇතුළු ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් වෙනුවෙන් දායකත්වය ලබා දී ඇත.