සණස රක්ෂණ සමාගම ACCA තිරසාර වාර්තාකරණ සම්මානය දිනා ගනී

    March, 15, 2017

    මෙරට සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණ පෙරදැරිව ක්ෂුද්‍ර රක්ෂණ පහසුකම් සම්පාදනයේ නිරත මෙරට ප්‍රමුඛත ම සමාගමක්වන සණස රක්ෂණ සමාගම (SICL), පසුගියදා පැවති ACCA තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.

    වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ACCA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී, මෙරට වඩාත් විනිවිදභාවයෙන් යුතු සහ වගකීම්සහගත බවින් යුතු ව්‍යවසාය ඇගයුමට ලක් කෙරේ. ගෝලීය වාර්තාකරණ වැඩසටහනේ (GRI) ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන, තිරසාර සංවර්ධනය තුළ විශිෂ්ට හැකියාවන් පෙන්නුම් කළ ව්‍යාපාර ඇගයුමට ලක් කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.

    "සණස රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ වඩාත් වගකීම්සහගත ව්‍යාපාරයක් ලෙස මෙලෙස ඇගයුමට ලක් වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ ක්ෂේත්‍රයේ ඉහළ ම තිරසාර අගනාකම්වලට අනුගත වීම සඳහා අප සීමා මායිම් ඉක්මවා දක්වන කැපවීම මෙමගින් තවදුරටත් තහවුරු වුණා" යනුවෙන් සණස රක්ෂණ සමාගමේ සාමාන්‍යාධිකාරී ඉන්දික කිරිවන්දෙණිය මහතා සඳහන් කළේය.

    වත්කම් හිඟකම හේතුවෙන් බැංකුවලින් මුල්‍ය පහසුකම් ලබා ගැනීමට නොහැකි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ක්ෂුද්‍ර රක්ෂණ පහසුකම් ලබා දීම සණස රක්ෂණ සමාගමේ අරමුණයි. "සණස රක්ෂණ සමාගම සණස ව්‍යාපාරය සමග අත්වැල් බැඳ ගනිමින් ක්‍රියාත්මකවන නිසා එය ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් අතර කැපී පෙනෙනවා. තවද, මෙය එක් පුද්ගලයෙකුගේ හිමිකාරිත්වය යටතේ නොවන, ප්‍රජා මූලික සමාගමක් වීම ද විශේෂත්වයක්. සමාගමට හිමිවන ලාභයෙන් 95%ක් සණස සමිතිවල සාමාජිකයන් වෙත ගලා යනවා" කිරිවන්දෙණිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    සණස රක්ෂණ සමාගම මෙරට ග්‍රාමීය සණස සමිති 8400 ක් හරහා ඒවායේ සාමාජිකයන් මිලියන 3කට අධික සංඛ්‍යාවක් සමග සබඳතා පවත්වයි. මෙම සමාගම විසින් පිරිනමනු ලබන ක්ෂුද්‍ර රක්ෂණ ක්‍රම එම සමිතිවල සාමාජිකත්වය දරන ඕනෑම අයෙකුට ලබා ගත හැකිය.

    ආර්ථික අගහිඟකම්වලින් පෙළෙන ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් ඔවුන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක සණස රක්ෂණ සමාගම මෙරට ප්‍රමුඛත ම ක්ෂුද්‍ර රක්ෂණ සේවා සම්පාදකයෙකු වෙයි. තිරසාරත්වය පවත්වා ගැනීමට සහ සංවර්ධනය කිරීම සඳහා එම සමාගම වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත. ක්ෂුද්‍ර රක්ෂණ ක්‍රම හරහා එම ජනතාවගේ ජීවන තත්ත්වය සංවර්ධනය කරන අතරතුර සමාගම එම ප්‍රජාවගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා විවිධ වැඩසටහන් දියත් කර ඇත. සමාජය වැඩිදියුණු කිරීම සඳහා සණස රක්ෂණ සමාගම සණස ව්‍යාපාරය සමග අත්වැල් බැඳගනිමින් කටයුතු කරයි.

    සමාගම් සමූහ සහ විවිධාංගිකරණ, බැංකු, මුල්‍ය සේවා සහ රක්ෂණ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (පිරිවැටුම බිලියනයට අඩු), අලෙවි සහ වෙළඳ, විවේක සහ සම්බන්ධක සේවා හා සාමාන්‍ය සේවා සහ උපයෝගිතා යන ඛාණ්ඩ යටතේ මෙහිදී සමාගම් ඇගයුමට ලක් කෙරේ.

    සේයා රූ සටහන : සණස රක්ෂණ සමාගමේ සාමාන්‍යාධිකාරී (වමේ සිට දෙවැන්නා) ඉන්දික කිරිවන්දෙණිය මහතා සම්මානය සමගින්. වමේ සිට දකුණට : ACCA මෙරට කළමනාකාරිනී නිලූෂා රණසිංහ, ප්‍රධාන ආරාධිත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නේවාසික නියෝජිත ඌනා මැකෝලි, ACCA ශ්‍රී ලංකා සාමාජික ජාල මණ්ඩලයේ සභාපති ආද්‍රියන් පෙරේරා